සංචාරකයන් විශාල පිරිසක් ලංකාවට එන ගමන්වාර අවලංගු කරලා! මහා ආදායමක් අහිමිවේවි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන මතයට කන් නොදී පුටුව බදාගෙන ඉඳීමත්, විසඳුම් නොදීමත නිසා සංචාරක කර්මාන්තයටත් විශාල බලපෑමක් සිදුව තිබෙනවා. මේ වෙද්දී ලංකාවට පැමිණීමට නියමිතව හිටපු සංචාරකයන් සැලකිය යුතු පිරිසක් ගමන්වාර පවා අවලංගු කරලාලු.

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක කර්මාන්තකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මහේන් කාරියවසම් සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණේ කර්මාන්තය සීයට 30-40 පමණ ප්‍රමාණයක් අවලංගු කරලා බව.

සංචාරක කර්මාන්තය නැවත හිස ඔසවමින් තිබුණු නමුත්, අනෙකුත් ක්ෂේත්‍ර බොහොමයක් අර්බුදයට පත්ව තිබුණා. ඒ අනුව දේශපාලන අර්බුදයක්ද දැන් පැන නැගී තිබෙනවා. සංචාරක අමාත්‍යවරයෙක් නැහැ. මේ සියළු තත්වයන් සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතු වෙලා.

කෙනෙක් කියාවි සංචාරකයන් නොපැමිණීමට හේතුව විරෝධතා බව. එහෙත්, සංචාරකයන් නොපැමිණීමටත්, විරෝධතාවලටත් යන දෙකටම හේතුව වන්නේ අසාර්ථක, අසංවේදී, අදක්ෂ පාලකයන්.

යම් රටකට ගමන් කරන සංචාරකයන්ගේ පෞද්ගලික අත්දැකීම්, තවත් සංචාරකයන් ඇදගැනීමට හේතු වෙනවා. දැන් ඉන්ධන පවා නැති තත්වය හමුවේ සංචාරකයන්ට මහමග නතර වෙන්නට සිදු වූ අවස්ථා පවා වාර්තා වෙනවා.

එක් සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරන බස් රියක් ගැන අත්දැකීමක් සන්ඩේ ටයිම්ස් ලියා තිබුණා. ඔවුන් ඇල්ලට ගොස් තිස්සමහාරාමය දක්වා යන ගමනකදී ඉන්ධන ඉවර වෙලා. බණ්ඩාරවෙල වෙත එන බවුසරයකින් ඩීසල් ගැනීමට උත්සාහ කරමින් කොළඹට කතා කරලා තිබුණත්, ඒ ඩීසල් ප්‍රමාණය එනතුරු දින දෙකක් සංචාරක පිරිසට ඇල්ලේ නතර වෙලා ඉන්න සිද්ධ වුණාලු.

මීට අමතරව අපට හිතවත් සංචාරක හෝටලයක් පවත්වාගෙන යන කෙනෙකු කීවේ විදුලිය කප්පාදු කිරීම එක්ක සීතල රටවල්වල සිට පැමිණි සංචාරකයන් පිරිසක් රස්නය දරාගන්නට බැරිව හෝටල් හිමිකරුවාට විරෝධය පෑ බවත්, ඒ හෝටල් හිමියා අසීරුවෙන් ජෙනරේටරටයක් සොයාගත් පසු එහි ශබ්දය දරා ගන්නට බැරිව සංචාරකයන් විරෝධය පෑ බවත්. ඔහුගේ හෝටලය ‘නිසල, නිහඬ, සන්සුන්’ පරිසරයක් ගැන දැන්වීම් පළ කරමින් සංචාරකයන් ගෙන්වාගත් එකක්. මුදල් වියදම් කොට එවැන්නක නතර වෙන්නට සංචාරකයන්ට වුවමනා නෑ.

ඉන්දියාව තුළත් ලංකාවේ අස්ථාවරත්වය පිළිබඳ දිගින් දිගටම වාර්තා පළ වූ නිසා මේ සතියේ එන්නට හිටපු ඉන්දීය සංචාරක නියෝජිත සංගමය (TAAI) තමන්ගේ සැලසුම් අලුතින් සකස් කර ඇති බවත් වාර්තා වෙනවා. එම අවස්ථාවේ 500 දෙනෙක් සහභාගී වෙන්න නියමිතව හිටියාලු.

ලංකාවට පැමිණීමට සිටි කසකස්ථානයේ ගුවන් ගමන් තුනක් අවලංගු කළ බවත් තව සිදුවීමක් විදියට කියනවා.

කෙසේ වෙතත් ඇමතිවරයෙකුත් නැති රටේ, සංචාරක කර්මාන්තයට අදාල ආයතනත් ක්‍රියාත්මක නොවන පසුබිමක කිසිම සාකච්ඡාවක්වත් මේ අර්බුදය ගැන සිදු කරලා නැහැ.