මෙහෙම ගියොත් තේ කර්මාන්තය සතියයි!

මෙරට තේ කර්මාන්තයට ඕනෑ වෙන ඉන්ධන සතියකින් අවසනු වනු ඇති බවත්, ඔවුන් අර්බුදයක සිටින බවත්, ඉදිරියේදී රැකියා අහිමි වෙන්න පුළුවන් බවත් තේ කර්මාන්තයේ යෙදෙන අය කියනවාලු. සන්ඩේ ටයිම්ස් – බිස්නස් ටයිම්ස් අතිරේකය වාර්තා කරලා.

මේ තත්වය දිගටම තිබුණොත් රැකියා අහිමි වෙන්නත් පුළුවන් බව ඔවුන් කියනවා. දැනටමත් කොළඹ රැකියාවක් නැති අය වතු ප්‍රදේශවල නිවෙස් කරා යද්දී, ආතතිය වැඩි වෙලාලු.

දැන් සෑහෙන දවසක් තිස්සේ තේ කර්මාන්තශාලාවලට විදුලිය නැති නිසා ඉන්ධනවලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කර්මාන්තශාලා නතර වුණොත් වතුවල වැඩ අනිවාර්යයෙන් නතර කරන්න වෙනවා. කර්මාන්තශාලා නැතිව තේ දළු නෙළලා වැඩකුත් නෑ. දිනපතා වැටුප් ලබන කම්කරුවන්ටත් එය බලපානවා. කොහොමටත් අඩු වැටුපක් ලබන ඔවුන්ගේ ආතතිය තවත් වැඩි වෙවි.

මේ ඉන්ධන අර්බුදය එන්නේ පොහොර තහනම නිසා තේ කර්මාන්තයට සිදු වූ බලපෑමට අමතරව. මේ වෙද්දී තේවල ගුණාත්මකභාවය අඩු වීමත්, මිල වැඩි වීමත් ගැන බිස්නස් ටයිම්ස් වාර්තා කරලා.

තේ වතුවල රැකියා අහිමි වීමත්, ඒ වතු ආශ්‍රිත පවුල්වල සාමාජිකයන් අතරින් කොළඹ විවිධ රැකියා කරපු අයට වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්උදව් වගේ රැකියා කරපු අයටත් රස්සා නැති වීමත් පවුල් ආරවුල්, සොරකම් වගේම සමාජ පීඩනය තව තවත් වැඩිවෙමින් පවතිනවාලු.

මේ වන විටත් ලංකාව වෙනුවට ඉන්දියාවට තේ සහ ඇඟලුම් ආනයන වැඩිපුර ලැබෙමින් පවතින බවත්, ලංකාවේ අර්බුදය නිසා ආනයන කරන විදේශික වෙළඳපළවල් ලංකාව අත්හරිමින් සිටින බවත් ඉන්දීය මාධ්‍ය පවා වාර්තා කරලා තිබුණා. ඒ අනුව ලංකාවේ තේ වෙනුවට ඇසෑම් තේ ආනයනය වැඩි වී තිබෙන බව එම ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.