අප්‍රියෙල් 09 සෙනසුරාදා මහ රෑ මැද අපි ගෝල්ෆේස් විරෝධයේදී අමුතුම දෙයක් දැක්කා. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදි.
දැනටමත් ඔබට වැටහෙනවා ඇති, සෙනඟ විවිධ තැන්වල ඉන්නේ. ජනාධිපති කාර්යාලය අසල හන්දියේ වටරවුමේ පිරිසක්. කාර්යාල ගේට්ටුව ළඟ සිට ෂැංග්‍රිලා දෙසට විසිර ගිහින් තව පිරිසක්. ෂැංග්‍රිලා ඉදිරිපිට වෙනස්ම පිරිසක්. ඒ අසල ළහිරු වීරසේකරලා ඇතුළු වාමාංශික ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන තරුණයන්.
වීඩියෝ කිහිපයක් සංස්කරණය කිරීම පිණිස එළියට ගොස් ගෝල්ෆේස් එක ළඟට නැවත යන අපට දකින්න ලැබුණා විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල ගේට්ටුව ඉදිරිපිට මධ්‍යම රාත්‍රියේත් හිටපු බව. ඇතැම් කොල්ලන් මධුවිතකින් සප්පායම් හිටපු වී බවත් ඇත්ත. ඒත්, එලෙස සප්පායම් වී හිටියේ එතැන සිටි බහුතරය නම් නෙවෙයි. අපි මධුවිත ගන්නවාට විරුද්ධ නෑ. කලහකාරී නොවෙනවානම්, තැන තැන වැටී අසිහියෙන් ගහමරාගෙන පිස්සු කෙළින්නේ නැති නම්, කට්ටිය විරෝධය දක්වන අවකාශය බාර් එකක් කර නොගන්නවා නම් මධුවිතක් ගන්න අය පොඩි එකක් ගත්තාම මොකෝ. රාජපක්ෂලා හදපු ‘මතට තිත’ කල්චර් එක වුණත් මේ නූතන සමාජයට ගැලපෙන එකක් නෙවෙයිනේ.
එතැන හිටපු කොල්ලන්ගේ ඇතැම් සටන්පාඨ ‘කුණුහරුප’ ලෙස සම්මත ඒවා. තවත් සටන්පාඨ කාන්තාවන්ටත් අපහාස වෙන ලිංගික අපහාස. ඒත්, ඒ තමයි කොල්ලන්ගේ වේදනාව පිට වූ විදිය. මහා තේජසක් විදහාපෑව රාජපක්ෂලාට එලෙස අපහාස කිරීමම හොඳ යාතුකර්මයක්. ආයෙ කිසි එකෙක්ට බොරුවට මවාපෑව උත්තම ලීලාවන් පාන්න බැරි වේවි.
කොහොම නමුත්, මේ කුණුහරුප කීම ගැන එකඟ නොවූ කොල්ලන් පිරිසක් ඒ ළඟම ඉඳගෙන ‘මේ අරගලය නෙවෙයි. මුං කුණුහරුප කියනවා. අදාල නැති ඒවා කියනවා. සිංදු දාලා නටනවා. මේකෙන් අරගලය ජෝක් වෙනවා.’ වැනි අදහස් ආවේගයෙන් කියමින් හිටියා. ඒ කියන්නේ එතැන හිටපු අයගේ හැසිරීම අවුල් බව.
ඔය අස්සේ රැට්ටා ඉන්නවා දැකපු අපි, ඔහුගෙන් වොයිස් කට් එකක් ගන්නට ළඟට ගියා. (ඔව්, මේ අරගලය මැද අපිත් චුට්ටකට වොයිස් කට් ශිල්පීන් වුණා.) රැට්ටා එක්ක කතා කරන අස්සේ එකපාර ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ හිටපු කොල්ලන්ගෙන් ලොකු ඝෝෂාවක් ආවා. මහ රෑ මෙතැනට ආපු ගමන්ම එක තරුණයෙක් මෙතැනට එකතු වී හිටපු කොල්ලන් කලහකාරී සහ සවුත්තු පිරිසක් විදියට අපේ ඔළුවට අදහසක් දැම්ම නිසා ක්ෂණිකව ඔළුවට ආ අදහස ‘කඩාගෙන ඇතුළට පැන්නා තමයි.’ කියන එක.
අපේ වීඩියෝ කරමින් හිටපු රසිකයා ඇතුළට දිව්වා. වෙන දේ බලන්න. අපි ඇත්තටම අරගලයට සහයෝගය දැක්වුවත් රිපෝටර්ලා වෙන නිසා රසිකයා හැර අනෙක් අය ඈත ඉඳන් තත්වය රිපෝට් කරන වුවමනාවෙන් බලා සිටියා.
ඇත්තටම සිදුවෙලා තිබුණේ එතැන හිටපු යම් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට බෝතල් ගහන්න, ඇතුළට පනින්න උත්සාහ කරද්දී එතැන හිටපු කොල්ලන්ම ඒක නැවැත්වීම. ඉදිරියෙන්ම හිටපු කිහිපෙදෙනෙක් මාර්ග බාධකයක් ගෙනැවිත් ගේට්ටුව තවත් හරස් කළා. ඇතුළට බෝතල්වලින් ගහන්න ලෑස්ති වුණ අවුරුදු 19 විතර තරුණම පිරිසකට ‘සද්දයක් දාලා’ එයාලාව ඈත් කරන්නත් එක්කෙනෙක් දෙන්නෙක් මැදිහත් වුණ බව ළඟටම ගිය රසික කීවා.
ඒ කියන්නේ ඒ අය අපි එද්දී කුණුහරුප, දරුණු අපහාස පාඨ විරෝධයේදී කීවාට ඒ දරුණුකම තිබුණේ වචනවල විතරයි. අරගලයක වාග් කෝෂය සිරිමත්ගෙ වාගේ වෙන්න බැහැ. එතැනින් එහාට ශාරීරික ප්‍රචණ්ඩත්වයකට ඒ දරුණුකම හරවන්නට එතැන හිටපු අයට වුවමනා වෙලා තිබුණේ නෑ.
ඒක එතැන හිටපු කොල්ලන් ගැන අපිත් පුදුම වූ කාරණයක්.