ඉරාජ්ගේ ෆේස්බුක්, යූටියුබ් ගිණුම් අවලංගු වෙලා

අප්‍රියෙල් 10 වැනිදා උදෑසන ගායක ඉරාජ් වීරරත්නගේ ‘ඉරාජ්’ යූටියුබ් නාළිකාව සහ ඔහුගේ ෆේස්බුක් ගිණුම යන දෙකම අක්‍රිය වෙලා.

ෆේස්බුක් ගිණුමේ සියලු පෝස්ට් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ‘ඉරාජ්ගේ නිල රසික පිටුව’ යන අර්ථය ඇති ඉංග්‍රීසි පෝස්ටුවක් පමණක් තිබෙනවා. යූටියුබ් නාළිකාවට ගිය කළ ‘මෙම නාළිකාව තවදුරටත් නොමැත’ යන අර්ථය ඇති ඉංග්‍රීසී පණිවිඩයක් එනවා.

ඉරාජ් අප්‍රියෙල් 09 වැනිදා ගෝල්ෆේස් වෙතට එක් වූ ස්වාධීන ජනතාව සහ 2017 දී ගෝල්ෆේස් පිටියේ තිබුණු පොදුජන පෙරමුණේ රැළියක් ගැන සඳහන් කරමින් ‘ජනතාව නිහඬව බලා සිටින’ බවත් කියමින් පෝස්ටුවක් පළ කර තිබුණා. ඔහු අදහස් කළේ පොඩි පිරිසක් පාරට බැස්සාට බහුතර ජනතාව පාරට බැසීමට සහයෝගයක් නොමැති බව. එහෙත්, ඔහුගේ එම ෆේස්බුක් පෝස්ටුවටවත් ඔහු කී ඒ ‘ජනතාව’ ඇවිත් සහයෝගය පලකරන ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. උපහාසාත්මක සහ ඔහුට විරෝධය දක්වන ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.

එයින් පසු ඔහුගේ ෆේස්බුක් ගිණුම්වලට එරෙහි විශාල රැල්ලක් පැතිර ගොස් තිබුණා. ඔහුගේ පිටු අහෝසි වී ඇත්තේ විශාල පිරිසක් රිපෝට් කිරීම නිසා නම්, එය එතරම් හොඳ තත්වයක් නෙවෙයි. බහුතර රැල්ලට එරෙහි අදහස් දක්වන අයට අදහස්වලින් ප්‍රතිචාර දක්වනවා මිස, ඒ අයට අදහස් පළ කරන්නට ඇති වේදිකා විනාශ කර දැමීම ගැන අප එකඟ වන්නේ නෑ.

‘ඔබ කියන දෙයට මම එකඟ නොවෙමි. එහෙත් ඔබට එය කියන්නට ඇති අයිතිය වෙනුවෙන් මම දිවිහිමියෙන් සටන් කරමි’ යනුවෙන් ප්‍රංශ ලේඛක වොල්ටෙයාර් කී කතාව මෙවැනි අවස්ථාවල අපගේ සිහියට නැගෙනවා.