විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් (21 වැනි සංශෝධනයකට කෙටුම්පතතක්) මේ වන විට නීතිඥවරුන් පිරිසක් කෙටුම්පත් කරමින් සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැන හොඳ දැනුමක් තිබෙන තරුණ සහ ජේයෂ්ඨ නීතිඥවරුන් පිරිසක් මෙම කටයුත්ත කරමින් ඉන්නේ සමගි ජන බලවේගයේ යෝජනාව සහ ඉල්ලීම අනුව. ඒ අනුව 19 වැනි සංශෝධනය ආපහු ක්‍රියාත්මක කිරීම සහ විධායක ජනාධිපතිවරයාට ඇතැම් බලතල පවරා ‘විධායක ජනාධිපති ක්‍රමයක්’ ඇති කරන වගන්ති වෙනස් කිරීම සඳහා කෙටුම්පත සකස් කරනු ඇති.
මෙය ජනමත විචාරණයකට නොගොස් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක්.
කෙසේ වෙතත් මේ ගැන අදහස් දැක්වූ ව්‍යවස්ථා විශේෂඥයෙකු කීවේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමේදී විපක්ෂය පැත්තෙන් ගෙන එන්නට නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගෙන එන්න ඕනෑ බව. එවැන්නක් කෙටුම්පත් කරලා සම්මත කිරීම දක්වා මාස හයක වගේ කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩු බලය නැතිව එවැන්නක් ඉක්මනින් ගෙන එන්නට අසීරු බව. මාසයක් වගේ ඇතුළත ගෙන එන්න නම් එක්කෝ ආණ්ඩුව මේ කෙටුම්පත තමන්ගේ එකක් බවට පත් කරගෙන කැබිනට් එකට දාලා අනුමැතිය ගන්න ඕනෑ. නැත්නම් කෙටුම්පත ගේන්න බලාපොරොත්තු වෙන අය ආණ්ඩුවක් හදලා, ඒ කැබිනට් එකේ අනුමැතිය ගන්න ඕනෑ.
මේ දෙකම සිදුවේයැයි සීයට සීයක් විශ්වාස නැති නිසා, දැනට තියෙන තත්වය අනුව මේ කෙටුම්පත ගෝඨාභය රාජපක්ෂව එළවීමේ එකම උපක්‍රමය විදියට පාවිච්චි කරන්න බැහැ. ඒ වෙනුවට ගෝඨාභය එළවීමෙන් එහාට ආපහු කවදාවත් උද්දච්ච, මිනිසුන්ට ඇහුම්කන් නොදෙන, අසංවේදී, බලය ගොඩගහගත්ත පාලකයන් බිහි නොවන්නට, ජනතාවට වගකියන පාලකයන් බිහි කරන්නට සම්පූර්ණයෙන් විධායක ක්‍රමය අහෝසි කරන යෝජනාව විදියට මේක පාවිච්චි කරන්නයි ඕනෑ.