ඉන්ධන, ඖෂධ වෙනුවෙන් ඩොලර් බිලියන 3ක් ඕනෑලු! අලි සබ්‍රි රොයිටර්ස්ට කියලා

හර්ෂණ සිල්වා

ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් නිසියාකාරයෙන් ලබාගැනීම ඉදිරි මාස හයක කාලයට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක විදේශ මූල්‍ය අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත.

මිලියන 22කට ආසන්න ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවට මේ වනවිට දීර්ඝ විදුලි කප්පාදුවලට මුහුණ දී තිබෙන අතර මේ හේතුවෙන් රට පුරා විරෝධතා නිර්මාණය වී තිබේ.

මෙම විරෝධතා හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

“ඒක ඉතාම දුෂ්කර කාර්යයක්” මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අලි සබ්‍රි මහතා ඒ බව පැවැසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය සහායක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.

එසේ ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව සිය ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර තවත් විදේශ ණය සඳහා ණය විරාමයක් ඉල්ලීමට ද ශ්‍රී ලංකවා බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව මේ වසරේ ජූලි මාසයේ කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් පිය විය යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාසයෙන් පසුවෙයි.

“ණය නොගෙවා සිටීමේ දරුණු තත්ත්වයකට පත් නොවී සිටීමට තමා අපි බලන්නේ. එවැනි තත්ත්වයක ප්‍රතිවිපාක අපි තේරුම් අරගෙන ඉන්නේ” යැයි ද සබ්‍රි මහතා කීය.

ශ්‍රී ලංකාව මේ වසරේ දී කළ යුතු දළ ණය සේවා පිරිවැයකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න වනු ඇතැයි ලෝ ප්‍රකට ආයෝජන බැංකුවක් සහ මූල්‍ය සේවා ආයතනයක් ජේ.පී. මෝර්ගන් විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත. මේ වසරේ දී ජංගම ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වනු ඇතැයි ද ගණනය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව මෙතෙක් නොපියවා ඇති/නොගෙවූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.55කි. මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.93කි.

“අපේ පළමු ප්‍රමුඛතාව, ඉන්ධන, ගෑස්, සහ ඖෂධ යනාදී සැපයුම් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියන කාරණය. ඉන් අනතුරුව විදුලි සැපයුම. ජනතාවගේ ප්‍රතිවිරෝධයට එමඟින් පිළිතුරු සපයන්න පුළුවන්” මුදල් අමාත්‍යවරයා කීවේ ය.

රොයිටර්ස් ඇසුරිනි