කොවිඩ්, යුද්ධය, සුනාමි තුනෙන්ම මියගිය සංඛ්‍යාවට වඩා ඖෂධ හිඟයෙන් මියයාවි! – වෛද්‍ය සංගමයෙන් ජනපතිට බියජනක ලිපියක්

තව සති කිහිපයක් හෝ ඇතැම්විට දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ රෝහල්වල හදිසි ප්‍රතිකාර කරන්නටත් පහසුකම් නොමැති වීමේ අවදානමක් ඇති බවත් කොවිඩ්-19 රෝගයෙන්, යුද්ධයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මියයෑමේ ඉඩක් ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දීලා.

මේ ලිපිය යොමුකර ඇත්තේ වෛද්‍ය සංගමය සමග එක්ව කටයුතු කරන අනෙකුත් විද්වත් ආයතනවල අත්සන් සහිතව. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියන්නේ වෛද්‍ය පාදෙණියගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි දේශපාලනික වෘත්තිය සමිතියක් නොවෙයි. වෛද්‍ය වෘත්තිය ගැන විධිමත් වූ විද්වත් මත ඉදිරිපත් කරන වෘත්තික ආයතනයක්.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ අත්‍යාවශ්‍ය ඖෂධ, ප්‍රතික්‍රියාකාරක, උපකරණ සහ පරිභෝජන ද්‍රව්‍යවල උග්‍ර හිඟය පිළිබඳව මේ ලිපියේ කරුණු සඳහන්. තත්වය ගැන සාකච්ඡා කරන්නට වෙලාවක් ලබා දෙන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා.

එහෙත් ජනාධිපතිවරයා. මිනිස්සුන් එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කරන වෙලාවක, සෞඛ්‍ය ඇතුළු විෂයන් ගැන බලන්නට ඇමතිවරුන් නැති වෙලාවක, ආණ්ඩුවට කටයුතු කරගෙන යන්නට බැරි වෙලාවක උක්ත අර්බුදය ගැන සාකච්ඡා කොට විසඳුමක් දීම වෙනුවට වෛද්‍ය සභාව පෙන්වාදෙන භයානක තත්වය ඇති වීමේ ඉඩක් තිබෙනවා. ඇත්තටම කලින් කී අවස්ථා තුනටම වඩා මිනිසුන් මැරුණත් ජනාධිපතිවරයාට ඒ ගැන වගේ වගක් නැති බව නම් අනුමාන කළ හැකියි.

එදිනෙදා ශල්‍යකර්ම වැනි ඇතැම් සේවාවන් සීමා කිරීමටත්, දැනට පවතින ද්‍රව්‍ය බරපතළ මට්ටමේ රෝගවලට පමණක් සීමා කිරීමටත් දැන් තීරණය කර ඇති බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් එහි සඳහන් කර තිබේ. ඒ කියන්නේ බොහෝ අසනීපවලට බෙහෙත් නොකර, ශල්‍යකර්ම නොකර බලා ඉන්නට සාමාන්‍ය ජනතාවට සිදු වෙලා.

“මෙය කිසිසේත්ම හොඳ ප්‍රතිපත්තියක් නෙවෙයි. ඉදිරියේදී පැය කිහිපයක් තුළ ජීවිතයටම හානි වෙන තත්වයක් පවා හදිසි නොවන තත්වයක් කියා බැහැර කරන්නට සිදු වේවි. ඒ වගේම මේක තිරසාර ප්‍රතිපත්තියකුත් නෙවෙයි. සති කිහිපයක්, ඇතැම්විට දින කිහිපයක් ඇතුළත හදිසි ප්‍රතිකාර සිදු කිරීමටත් නොහැකි වේවි. මේක මහා ව්‍යසනකාරී විදියට මරණ විශාල සංඛ්‍යාවකටත් හේතු වේවි. මෙම අර්බුදයෙන් මියයන සංඛ්‍යාව කොවිඩ් රෝගයෙන්, සුනාමියෙන් සහ සිවිල් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවන් එකතු කළත් ඊට වැඩි වෙන්න පුළුවන්.’ යනුවෙන් වෛද්‍ය සංගමය පෙන්වලා තියෙනවා.

‘දැනට පවතින ඖෂධ සහ උපකරණ කල්පනාකාරීව, අරපිරිමැස්මෙන් පාවිච්චි කරමින් ඒවා හැකි තාක් කල් කල් තබා ගැනීම ගැන අපි සාමාජිකයන් සමග සාකච්ඡා පටන් අරන් තියෙනවා. ඒත් එය ඉතා කෙටිකාලීන විසඳුමක් පමණයි. හදිසි නොවන රෝගවලට මුහුණදෙන රෝගීන්ට ප්‍රතිකාර අත්හිටුවීමෙන් වෛද්‍යවරුනිට සිය වෘත්තිමය සදාචාරය පැත්තෙන් ගැටලු ඇතිවිය හැකියි.

(මෙහි එන සමූහ මිනීවළක ඡායාරූපය 2006 කැබිතිගොල්ලෑව බෝම්බයෙන් පසු අවසන් කටයුතුවලදී ගත් එකකි.)