ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය නිසා තමිල්නාඩුවේ තිරුපුරුර්වල ඇඟලුම් අපනනයන කෙන්ද්‍රස්ථානයට සහ දකුණු ඉන්දියාවේ ඇසෑම්වල තේ වතුවලට ලැබෙන ජාත්‍යන්තර ඇණවුම් වැඩි වෙමින් පවතින බව ‘ඉකොනොමික් ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ආයතනය වාර්තා කරලා තියෙනවා.
ඇඟලුම් සහ තේ කියන්නේ ලංකාවේ ප්‍රධානම අපනයන නිමැවුම්. මේවායේ වෙළඳපළ අහිමි වුණොත් දැන් පවතින තත්වය තවත් දරුණු වේවි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට ගැන නොසිතා තමන්ගේ සහ පවුලේ වුවමනා වෙනුවෙන් බලයේ රැඳී සිටීම හේතුවෙන් දේශපාලන අර්බුදය ඇදි ඇදී යනවා.
තිරුපුර් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රාජා එම් ෂන්මුගම් කියා තියෙන්නේ ‘ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට බොත්තම් පවා ආනයනය කරන්න සිද්ධ වෙනවා. (ඇඳුම් මසන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න සිදු වන බව. ඩොලර් නැති නිසා ඒ අමුද්‍රව්‍ය ආනයනයත් අසීරු තැනකට වැටිලා.) ලෝකයේ ප්‍රධාන සන්නාම හිමිකරුවන් ශ්‍රී ලංකාව වෙනුවට ඉන්දියාවේ තිරුපුර් වෙත ඇණවුම් එවන්නට පටන් අරන්.’
මේ විදියට ඊළඟ වසරාවසාන ‘ශරත්’ සමය වෙනුවෙන් ලෝක ඇඟලුම් නිෂ්පාදකයන් ශ්‍රී ලංකාවෙන් ඈත්ව ඉන්දියාවට යොමු වෙමින් ඉන්නවා.
සාරා, මැන්ගෝ සහ එච්ඇන්ඩ්එම් වැනි වෙළඳ නාම කිහිපයක්ම ශ්‍රී ලංකාවත් ඇතූලු අපේ කලාපයේ රටවල්වලින් ඇඟලුම් ආනයනය කරනවා. දැනටමත් බංග්ලාදේශය, වියට්නාමය සහ කාම්බෝජය වෙත විශාල ඇණවුම් ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙන නිසා, ශ්‍රී ලංකාව වෙනුවට ඔවුන් යොමු වෙමින් ඉන්නේ ඉන්දියාවට.
ශ්‍රී ලංකාව අවුරුද්දකට ඩොලර් බිලියන 5කට වැඩි ඇඟලුම් අපනයන ප්‍රමාණයක් සිදු කරනවා. එය වැඩි කර ගැනීමට හැම වසරේම ශ්‍රී ලංකාව උත්සාහ කරනවා.
අනෙක් පැත්තෙන් දකුණු ඉන්දීය තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති දීපක් ෂා කියා තිබුණේ ශ්‍රී ලංකාවේ නිතිපතා විදුලිය විසන්ධි වීම නිසාත්, ඉන්ධන හිඟය නිසාත් තේ කර්මාන්තශාලාවලට බලශක්ති අර්බුදයක් ඇති බව. ඒ නිසා තේ නිෂ්පාදනය කඩා වැටෙන බව. අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ තේ පැකට් සඳහා ආනයන කිරීමත් අසීරුයි.
ශ්‍රී ලංකාව ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, රුසියාව සහ තුර්කිය වැනි රටවලට අපනයනය කිරීම සඳහා ‘ඕතඩොක්ස් තේ’ නිෂ්පාදනය කරනවාලු. ඉන්දියාවද ඒ ආකාරයේ ඕතඩොක්ස් තේ නිෂ්පාදනය කරන නමුත් එය බොහෝ දුරට ඉරානයට සහ රුසියාවට යවනවාලු. ශ්‍රී ලංකාවට තියෙන මාකට් එක ශක්තිමත්ලු. දැන් දැන් ලංකාවේ කඩාවැටීම හමුවේ ඉල්ලීම් ඉන්දියාවටලු.