සජබ ආණ්ඩුවට බලය තියාගන්න උදව් කරනවාද? නැත්නම් රටම දේ වෙනුවෙන් දෝෂාභියෝගයක් ගේනවාද? අවුරුද්දට නිවාඩු ගනීවිද?

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය මේ මොහොතේ රටේ බලය තබාගැනීමට උදව් කරමින් සිටිනවාදැයි ඇතැම් පිරිස් අතර අදහස් මතුවෙනවා. බොහෝ අය බලාපොරොත්තු වුණේ දෝෂාභියෝගයක් ගෙන එනු ඇති බව. එහෙත් අප්‍රියෙල් 07 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට බොහෝ අය සහභාගී වී තිබුණේත් නැතිලු.

අනිවාර්යයෙන්ම මුළු රටම ගෝ හෝම් ගෝඨා කියද්දී, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෝෂාභියෝභියෝගයක් ලෑස්ති කරන්නටවත් සූදානම් වෙනවාදැයි මහජනතාව තුළ කුතුහලයක් ඇති. සමගි ජන බලවේගයේ ගේම් ප්ලෑන් එක කුමක්ද? පාරේ ඉන්න අය පාර්ලිමේන්තුවේ නෑ. ඒ නිසා පාරේ ඉන්න අය වෙනුවෙන් ඔවුන් කටයුතු කරන්න ඕනෑ.

‘ලංකාව පුරා සමගි ජන බලවේගයේ විරෝධතා පවත්වනවා. විමල් පිළ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් අත්සන් කරනවා කියලා 6 වැනිදා උදේ කීවා. අපිත් අත්සන් කරන්නම් කියලා අපේ පැත්තෙන් කීවා. ඒත් එයාලා විශ්වාසභංගය අත්සන් කරන්න ගෙනාවේ නෑ. වැඩේ කෙරුණේ නෑ. ඒගොල්ලන් ස්වාධීන වුණාට ආණ්ඩුව පැත්තේ වාඩිවෙලා ඉන්නේ. අපට තියෙන ලොකුම ප්‍රශ්නය අපේ කණ්ඩායම තුළ හතළිස් ගාණක් පමණක් ඉන්න එක. විපක්ෂයේ ඉන්න උතුරේ පක්ෂ, ජවිපෙ වගේ එකතු වුණාම හැටක්, හැටපහක් ඉන්නවා. ඒත් සීයක්වත් නැතිව ඒ වගේ දෙයක් කරන්න බෑ. විමල්ලාගේ පැත්තෙනුත් සහයෝගය නැතිව බෑ.’ යනුවෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රබල සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කීවා.

කෙසේ වෙතත්, විමල්ලා ගෙනෙනතුරු ඉන්නේ නැතිව සමගි ජන බලවේගය පැත්තෙන් ගෙන එන්නත් පුළුවන්.

එක් පැත්තකින් දෝෂාභිගෝගයක් සඳහා කටයුතු පටන් ගන්න පුළුවන්. නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු පටන් ගන්න පුළුවන්. එසේත් නැති නම් දෙකම පටන් ගන්න පුළුවන්. හරි බලපෑමක් එක්ක ඉක්මනින් වැඩේ කළොත් මාසයක් වගේ කාලයක් ඇතුළත සියල්ල අවසන් කළ හැකියි.

මේ වෙද්දී විපක්ෂ නායක සජිත් පේ‍ර්මදාස විධායක ක්‍රමය අහෝසි කළ යුතු බව දෙවතාවක් කීවා. ඊට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අප්‍රියෙල් 07 වැනිදා විධායක ක්‍රමය අහෝසිය සඳහා කෙටුම්පතක් ගෙන එන බව කීවා.

‘විධායක ක්‍රමය අහෝසි කරන්න අමාරුයි. කවුරුහරි යෝජනාවක් කරලා කෙටුම්පතක් හැටියට කවුරුහරි ටේබල් කරන්න ඕනෑ. වුවමනාවක් තියෙනවා නම් කරන්න පුළුවන්. ඒත් ඒකට විමල් පිළ කැමතිද කියා ෂුවර් නෑ. විමල් පිල මේ ගැන දක්වන ස්ටෑන්ඩ් එක ෂුවර් නෑ. ඒ අයත් ජනාධිපති ගෝඨාට නැතිව බැසිල්ට විතරක් බණිනවා. ඇත්තටම කීවොත් පාර්ලිමේන්තුව ඇතුළේ තත්වය ව්‍යාකූලයි. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝම එක අදහසක නෑ. 48ක් තියාගෙන ලොකු සෙල්ලමක් දාන්න බැහැ. සංඛ්‍යාවල ප්‍රශ්නයක් තියෙනවා.’ යනුවෙන් අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු කීවා.

මෙම අදහස සාධාරණ එකක්ද? නැති නම් බහුතරය දිනා ගැනීම සඳහා ආණ්ඩුවේ සාමාජිකයන් එක්ක පුළුල් සාකච්ඡා ආරම්භ කළ යුතු නැතිද? තවමත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් එක්ක කරන ලද සමගි ජන බලවේගයේ නායකයන්ගේ සාකච්ඡාවක් නිල වශයෙන් වාර්තා වෙලා නැහැ. අප දැනට දන්නේ පාර්ලිමේන්තු ලොබියේ සහ දූරකථනයෙන් කළ කතා ගැන පමණයි. එහෙත් සමගි ජන බලවේගයට ඕනෑ නම් නිල වශයෙන් දෝෂාභියෝග ක්‍රියාවලියක් ආරම්භ කළ හැකියි. එය තුනෙන් දෙකෙන් සම්මත නොවුණත් දෝෂාභියෝගයක් විභාගයට ගැනීම පවා ඓතිහාසිකව වැදගත්.

අනෙක් පැත්තෙන් දෝෂාභියෝගයකට තුනෙන් දෙකක අනුමැතිය ගන්නට අවදානමක් තියෙනවා. ආණ්ඩුවෙන් එළියට බැස්ස ඇතැම් අය පවා ගෝඨාභය රාජපක්ෂ පැත්තේ ඉන්නවා. එයට වඩා විධායක ක්‍රමය අහෝසි කරන, 20 වැනි සංශෝධනයෙන් ගෝඨාභය රාජපක්ෂ පැහැරගත් අධික බලය ආයෙමත් ස්වාධීන ආයතනවලට ස්ථාපිත කරන්න, නීතියට උඩින් මහන්තත්ත විදියට ඉන්න පාලකයන් ආපහු කවදාවත් බිහි නොවන්න විධායක ක්‍රමය අහෝසි කරන සංශෝධනයක් තුළින් කටයුතු සලසන්න පුළුවන්.