මේ වෙද්දී ආණ්ඩුවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැර බලවත්ම අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රධානම භූමිකාවක් ඉටු කරන අතරේම රටේ සිටින උද්ඝෝෂකයන් අවුස්සන අන්දමේ ක්‍රියාවන්හි යෙදෙනවා. ඒ අතරේ තමන්ටම උදව් කරන ආධාරකරුවන් රැස් කොට, එතැනට විරෝධතාකරුවන්ට එන්නැයි අභියෝග කරවා විනාසයකට අර අඳින බව පෙනෙනවා.
ඒත්, ජොන්ස්ටන්ගේ ආධාරකරුවන් අතරට ගිහින්, ඒ අභියෝගයේ කොටස්කරුවෙක් වෙන්නට තරම් කොන්දක් ජොන්ස්ටන්ට නෑ. ඔහු කොළඹ ආරක්ෂිතව සිටියදී, සාමාන්‍ය මිනිසුන් වූ ආධාරකරුවන් පෙරමුණට යවා ඒ මිනිසුන්ගේ ජීවිතත් අවදානමේ දමනවා.
අප්‍රියෙල් 06 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කාර්යාලයකට ඔහුගෙන් උදව් ලැබූ ආධාරකරුවන් පිරිසක් එකතු කොට, කුරුණෑගල නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වෙයන් ‘කිසි කෙනෙක් යන්න එපා’ කියමින් ඔවුන්ව කාර්යාලය තුළ රැස් කරගෙන සිටි අන්දමත් දක්නට ලැබුණා.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගැන අමුතු ආලයක් තිබුණු බව මීට කලින් ‘රාජසභා මණ්ඩපය කඩා චෝදනාවට ලක් වූ වෙලාවේ නගරාධිපතිගේ ‘මයිලකට අත තියන්න දෙන්නෑ’ කියමින් පෙන්නුවා. දැන් ඒ නගරාධිපති ජොනීට ණයයි. නගරාධිපතිවරයා කළ කතාවේදී ජොනීගේ කොණ්ඩය ගැන අමුතු ආශාවක් පෙන්වමින් ‘ජොනීගේ හිසකෙස්වලට අත තියන්න දෙන්නේ නෑ’ කියමින් නගරාධිපතිවරයා කතාවතුක් කළා.
‘අපි ජවිපෙ, සමගි බලවේගය හෝ ඕනෑම කෙනෙකුට කුරුණෑගල ජොන්ස්ටන්ගේ කාර්යාලයට පැමිණෙන ලෙස අභියෝග කරනවා’ යනුවෙන් එතැන සිටි නගරාධිපතිවරයා කීවා.
ඇත්තටම මේ වෙලාවේ පාරට බහින පිරිස් ප්‍රචණ්ඩ නොවී යම් කෙනෙකුගේ කාර්යාලයක් ඉදිරිපිට සාමකාමී විරෝධයක් කළත්, එය ඇතුළෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ආරම්භ කළ හැකියි. ආණ්ඩුව පැත්තේම සැලසුමකින් එක් පැත්තකින් ගල් ප්‍රහාරයක් එල්ල කළොත් දෙපිරිසක් අතර ගැටුමක් ඇති කළ හැකියි.
එවැනි ගැටුමක් ඇති වී, කැළඹුණු පිරිස් අතර විනාශකාරී රණ්ඩුවක් වුණොත් ‘මගේ කාර්යාලයට පහර දී අහවල් විනාශය කළා’ කියමින් අනුකම්පාව දිනාගන්නත් ජොනීට පුළුවන්. තමන්ගේම ආධාරකරුවෙකුගේ ජීවිතයකට හානි වුණොත් එය ජොනීගේ දේශපාලනයටත් වාසියි.
පසුගිය දින ගණනාවක් තිස්සේ ජොන්ස්ටන් ප්‍රනාන්දු පාරට බහින අතිබහුතර ජනතාවගේ ඉල්ලීම්වලට අසංවේදී වුණා. එය පටු දේශපාලනයකට ලඝු කළා. ජනතාව අවුස්සා තමන්ගේ කාර්යාලයක් ඉදිරිපිටට ගෙන්වාගැනීමේ වුවමනාවක් ඔහු පෙන්වුවා.
තමන්ගේ ආධාරකරුවනුත් රැස් කරමින්, හිතාමතාම ගැටුමක් ඇති කොට, තමන්ගේම ආධාරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන පවා නොසලකමින් කරන මේ ක්‍රියාව ජොන්ස්ටන් ප්‍රනාන්දුලාගේ නින්දා සහගත දේශපාලනයේ දිගුවක්.