ආණ්ඩුව බලයට ආවේ ප්‍රචණ්ඩත්වයෙන් – හකීම්

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රචණ්ඩත්වය හරහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුෆ් හකීම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

‘අද උදේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සෑහෙන්න ආවේගශීලි කතාවක් කළා අපේ අනුර කුමාර මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ. උත්තේජනයෙන් කතා කළේ. ඊට පෙර අපේ වැඩ කරපු විරුවව සභා ගර්බයට ගෙන්වලා මෝඩ චූන් එකක් ගත්තා. මහා උත්තේජනයක් ගත්තා. සභා ගර්බයෙන් පිට සිදුවෙන දේවල් ගැන කවුරුවත් යථාර්ථවාදීව හිතන්නේ නෑ. බියගුළු තත්ත්වෙට පත්වෙලා තියෙන්නේ ජනාධිපතිතුමෙක් තියාගෙන. ජනාධිපතිතුමා මීට පෙර හිරුණිකා මන්ත්‍රීතුමිය තමන්ගේ ගේ වටකරද්දි දැනගෙන හිටියෙත් නෑ. ඊට පස්සෙ තරුණයන් ටිකක් ඇවිත් වටකරද්දිත් දැනගෙන හිටියෙත් නෑ. හැබැයි ඥානක්කා‌ගේ ගේ වටලද්දි නම් බට පිරිස් ගෙනත් ඉන්නවා. එවැනි ජනාධිපතිතුමෙක්. ලැජ්ජයි. වගකීම් බාරගන්න බැරි ජනාධිපතිවරු ඉන්නවා නම් ඉල්ලා අස්වෙන්න. මුදල් ඇමතිතුමෙක් පත් කර ගන්න බැරි ජනාධිපතිතුමෙක් තියාගෙන මෙතන ඇවිත් මෝඩ චූන් ගන්නවා. අපේ මන්ත්‍රීවරුන් එළියේ විරෝධතා පවත්වන වෙලාව බලලා ඇවිත් ගියා. ‘

‘මිත්‍යාදෘෂ්ඨික තීන්දු ගත්තේ හැම වෙලාවෙම. කාවහරි රිද්දන්න තීන්දු ගත්තේ. සුළුජාතිකයන් රිද්දවන්න තීන්දු ගත්තේ. මේ සභාගර්භයෙන් පිට තියන යථාර්ථය තේරුම් ගන්න. ඔබතුමාලා ආණ්ඩුබලය ගත්තෙත් ප්‍රචණ්ඩත්වයෙන්. අම්පාරෙ වඳගත්තුවෙන් පටං අරගෙන කුරුණෑගල වඳ දොස්තර ඇතිකරගෙන කරපු හැටි අමකකද? ඒ්වා තියාගෙන ඇවිත් අපට පුරසාරම් කියන්න එපා. වගකීම් පැහැර හැරීම් ගැන පක්ෂ නායක රැස්වීමෙදිත් අපි කිව්වා.

‘ ‘දැන් කියනවා අපට 113 පෙන්වන්න කියලා. මුළු රටම ගිනිගන්නා අවස්ථාවක ආණ්ඩුව හැසිරෙන විදිහද මේ? ඔබතුමන්ලාගේ හැට නම ලක්ෂයක ජනවරම ව්‍යර්ථවෙලා යනවා වගේ අපිටත් තිබ්බා 55 ලක්ෂයක ජනවරමක්. අපට තිබුණා කලින් පරිවාස ආණ්ඩු ගැන අත්දැකීම්. සුළුතර ආණ්ඩු ගැන අත්දැකීම් තිබෙනවා. ජාතික ආණ්ඩුවකුත් තිබුණා. දැන් භාරකාර ආණ්ඩුවක් සහ අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන යෝජනා කරනවා. මේවා ගැන හරි ක්‍රමයක් හදන්න ඕනෑ.

හැමෝම එකතු වෙලා කතා කරලා යාන්ත්‍රණයක් හදා ගත යුතුයි. ඇත්ත කියන්න ඔ්න ඇමතිතුමෝ. අපේ ළමයිනුත් බහිනවා. මේක එයාලගේ අනාගතේ පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ ජීවත් වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නයක්. අපේ දුවයි බෑණයිත් ගියා එපා කියද්දි. බියගුළු ජනාධිපති කෙනෙක් තියාගෙන මේ රට කරන්න බෑ. අමාත්‍ය මණ්ඩලයක් නැතුව හැම අමාත්‍යංශයක්ම තමන්ට පවරගෙන රට ගෙනියන්න පුලුවන්ද? දැන් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරලා තිබුණා හිටපු මහ බැංකු නිලධාරියෙක්. අපිට මේ පාර්ලිමේන්තුව තුල හරිආකාරව ශක්තිමත් ආණ්ඩුවක් පත් කර ගන්න බැරිනම් උගතුන් ප්‍රවීනයන් එක්ක මණ්ඩලයක් පත් කරගමු. ඒකට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගේමු. අනුර කුමාර කිව්වේ ඒක.’