ජනවාරි මාසයේදී ආර්ථික අර්බුදය ගැන දැන දැනම ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර ජාත්‍යන්තර බැඳුම්කර වාරිකයක් ගෙවීමට කටයුතු කිරීම පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කීවා.
ඉන් එහාට ආර්ථික අර්බුදය ගැන විග්‍රහයක් ලෙස ඔහු කළ කතාව මෙසේයි.
‘අලි සබ්රි හිටපු ඇමතිතුමා කතා කළේ. එතුමා සහ සමහරු මේ ප්‍රශ්නය දැනගෙන හිටියා, කරගන්න දෙයක් තිබුණේ නැහැ කීවා. ඒක මහ පුදුම වැඩක්නේ. ඔබතුමා කියනවා අවුරුදු එකහමාරක් තිස්සේ අයිඑම්එෆ් යන්න කීවා, ගියේ නැහැලු. 2020 නොවැම්බර් 18 හෝ 19 තමයි අයවැය තිබුණේ. පිළිතුරු කතාව කළේ මම. අපි පැහැදිලිවම කීවා. සබ්රි ඇමතිතුමා, මේ ප්‍රශ්නය යන්න බෑ මේ ගමන. ඔය යන ක්‍රමය වැරදියි. එදා අයිඑම්එෆ් ගියා නම්, එදා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කළා නම් අද මේ අමාරුවේ වැටෙන්නේ නෑ.
අපි අමාරුවේ වැටුණේ ඔබතුමන්ලාගේ නොහැකියාව නිසා. සමාවෙන්න. මෙහෙම කතා කරන්නේ සන්තෝෂයෙන් නෙවෙයි. ඔබලා දැනගෙන හිටියා නම් ඇයි දෙයියනේ මේක කළේ නැත්තේ. ඔව්, මම ඊයේ පැය තුනක් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් සමග දීර්ඝ විග්‍රහයක යෙදුණා. මම කැමති නෑ එතැන කතා වුණ දේවල් මෙතැන කියන්න. වගකිවයුතු විපක්ෂයේ සාමාජිකයෙකු විදියට මේ කතාව අභ්‍යන්තර කතාවක් විය යුතුයි. හැබැයි මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕනෑ.
පළවැනි කාරණය තමයි අපේ රටේ තියෙන බදු ප්‍රශ්නය. භාණ්ඩාගාරයට ආදායමක් නෑ. මම නම කියලාම කියන්නම් රාණි ජයමහ මැතිණිය කීවා, මේ ප්‍රශ්නය පටන් ගත්තේ බදු කපාහැරීම නිසා. ඒ බදු කපාහැරීම වැරදියි කියලා මෙතැන අපි තර්ක කළා. අපි කීවා නැවතත් මංගල සමරවීර යුගයේ තිබුණ බදු බැරි නම් ඒ කිට්ටුවට හරි යන්න. රටක් බදු නැතිව දුවන්න බැහැ. අපේ රට තමයි ලෝකයේ අඩුම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ලැබෙන රට. පේර්මදාස යුගයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සීයට 20 කිට්ටු වෙන්න බදු තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අස්වෙලා 2015 ආණ්ඩුව ගන්නකොට ඒක සීයට 9ට විතර බැහැලා තිබුණා. මංගල සමරවීර මුදල් ඇමතිවරයා ඉවත් වෙනකොට සීයට 12.5ට විතර නැගලා තිබුණා. අද සීයට 8ට වඩා අඩු වෙලා තිබුණා.
එතකොට අපි තේරුම් ගන්න ඕනෑ බදු සාධාරණ විදියට ලබා ගන්න ක්‍රමවේදයක් යොදා ගන්න ඕනෑ. අපි ඒක පෙන්වලා දුන්නා. විපක්ෂ නායක ඇතුළු අපි සියලුදෙනාම කීවා ඔය බදු ප්‍රතිපත්තිය වැරදියි. ඒක තමයි මේකට මුල.
දෙවැනි කාරණය තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. ඔබතුමා කියනවා ජුනි මාසයේ ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා. අපි කොහොමද ඒක ගෙවන්නේ. ඔබතුමා හොඳටම දන්නවා අපි කීවා, ඩොලර් මිලියන 500 ගෙවන එක සම්බන්ධයෙන් ඊට වඩා හිතන්න තිබුණා. එදා මිලියන 500 අතේ තියා ගත්තා නම් අඩු ගාණේ කිරිපිටි ටික ගේන්න තිබුණා. අපි කීවා. අපි විතරක් නෙවෙයි ඔබ නම් කළ (දැන් ආණ්ඩුව උපදෙස් ගන්න) ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවා, ශාන්ත දේවරාජන් මහතා කීවා. ශාමිනී කුරේ මැතිණිය කීවේ නැති වුණාට ඒ අදහසේමයි හිටියේ. සබ්රි ඇමතිතුමා ඔබට මතකද මම රෑ කෝල් එකක් දුන්නා. ‘සබ්රි වී ආ හැවින් අ සීරියස් සිටුවේෂන්.’ හොයා බලන්න ද්විතීයික වෙළඳපළේ බොන්ඩ් අරන් තියෙන්නේ කවුද කියලා. සමහරුන් සීයට දෙසීය, තුන්සීය ලාභ ගත්තා ඩොලර්වලින්. මම රෑ කෝල් කරලා කිව්වා. ඔබට එය ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙතැන දූෂනයක්, වංචාවක් වුණාද කියා හොයා බලන්න අවශ්‍යයි. මම යෝජනා කරනවා ඉක්මනින්ම ස්වාධීන ජාත්‍යන්තර ගිණුම් සමාගමක් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බව. මූල්‍ය අර්බුදය මැද බැඳුම්කර ගනුදෙනු ගැන.
අපට අභියෝගයක් කරනවා මේක අරන් අන්තර්කාලීන වැඩපිළිවෙලකට යන්න කියලා. අපි ලිස්සලා යන්නේ නෑ. අපි සූදානම්. අපි සාකච්ඡා කරමු කොහොමද කරන්නේ කියලා. නමුත් මෙතැන තියෙන ගැටලුව තමයි ගෝඨා ගෝ හෝම් සමාජය ඉල්ලන්නේ. සාකච්ඡා කරලා විසඳුමක් හොයාගන්න පුළුවන්. සාකච්ඡා කරමු කියලා…’
මන්ත්‍රීවරයාගේ කතාව කාලය අවසන් බව කියමින් අතරමැද නැවැත්වුවා.