හොරා හොරා ජොනියා හොරා! ජොන්ස්ටන්ගේ කාර්යාලය දෙසට පාගමනක්

‘ජොන්ස්ටන් ලොක්කට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය’, ‘හොරා හොරා ජොනියා හොරා’, ‘එපා එපා ජොනියා එපා’ කියමින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කාර්යාලය වෙත පිරිසක් පාගමනින් පැමිණෙමින් උද්ඝෝෂණ කරන්නට පටන් අරන්.

මෙම පිරිස අප මේ සටහන ලියන මොහොත වෙද්දී එම උද්ඝෝෂකයන් හිංසාකාරී නොවී උද්ඝෝෂණයේ නිරත වෙනවා. ‘කාගෙද මේ බලවේගේ- ඇතුගල්පුර බලවේගේ.’ යනුවෙන් කියමින් ඔවුන් උද්ඝෝෂණයේ යෙදෙනවා.

‘මට දැන් බයක් තියෙන්නේ උංගේ එකෙක්ම ඇවිත් මෙතැන මොකක්හරි පටන් අරන්, අපි පටන් ගත්තා කියාවිද කියලා.’ යනුවෙන් උද්ඝෝෂණය කරමින් සිටි තරුණයන් කියන අන්දම සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය කළ සජීවී වීඩියෝවල සටහන් වී තිබුණා.

තරුණයන් මෙවැනි බියක් ඇති කරගන්නට හේතුව වී තිබෙන්නේ මීට කලින් ‘අපට ගහන්න ආවොත් නිකම් ඉන්නේ නෑ’ යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කල නිසා.

ඉන් එහා ගිහින් අප්‍රියෙල් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී සභානායකවරයා ලෙස තමන් සතු බලය අවභාවිත කරමින් දීර්ඝ කතා මාලාවක්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු කර තිබුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතාවලටත් බාධා එල්ල කොට, එම කතාවලට ඉඩකඩත් නොදෙමින්. තමන්ගේ පක්ෂයේ අයගේ පවා කටවල් වසමින් ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ අධික ලෙස කතා පවත්වන අයුරු දක්නට ලැබුණා.

වත්මන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම තුළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැර බලවත්ම පුද්ගලයා ජොන්ස්ටන් ප්‍රනාන්දු. මීට පෙර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් විය යුතු බව සාකච්ඡා කළ මොහොතේ එයට එකඟ නොවී ප්‍රචණ්ඩකාරී ලෙස කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඔහු කතා කර තිබුණා.