‘මම ආරක්ෂක ලේකම් විදියට හැසිරුණ විදිය ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ කාලේ වගේ දේවල් කරන්නේ නැහැ.’ යනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සමග පැවති සාකච්ඡාවකදී කීවාලු.
මේ බව අපට කීවේ එම සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රීලනිප ප්‍රබලයෙක්.
ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ දියත උයන අද්දර ‘ගෝඨා ගල්’ අල්ලා කොන්ක්‍රීට් උද්‍යාන හැදීම ගැන වෙන්න බැහැ. අනිවාර්යෙයන්ම ඔහු අදහස් කරන්නට ඇත්තේ ඒ කාලයේ සිදු වූ, ප්‍රසිද්ධියේ තමන් කළායැයි පිළි නොගන්නා අපරාධ ගැන වෙන්නට ඕනෑ.
ඔහු ශ්‍රීලනිපය එක්ක එසේ කියා තිබුණේ ශ්‍රීලනිප සහයෝගය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ශ්‍රීලනිපයට එහෙම කීවත්, ඇත්තටම මේ වෙද්දී එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්නට තීන්දු කරලා ඉවරයි. සාකච්ඡාවේදී ගෝඨාභයගෙන් කරපු ඉල්ලීමත් ඉටු කරලා නැහැ.
ශ්‍රීලනිපය මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ මුහුණටම ඔහුගේ වැරදි නිසා ආණ්ඩුව පත් වූ තත්වය ගැන කියා තිබුණා. කොවිඩ් පාලනයේ වැරදි, විද්වත් මතවලට ඇහුම්කන් නොදීම, අනෙකුත් පක්ෂවලට ඇහුම්කන් නොදීම, කාබනික පොහොර පිළිබඳ තීන්දුව ආදී බොහෝ කරුණු ගැන එහිදී ශ්‍රීලනිපය කරුණු දක්වා තිබුණා.
ජනාධිපතිවරයාත් තමන්ගේ පැත්තෙන් අදහස් දක්වා තිබුණා. කෙසේ හෝ පාර්ලිමේන්තු බහුතරය රැකගෙන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නට ජනාධිපතිවරයාට ඕනෑ වී තිබුණ බව එහිදී පැහැදිලිව පෙනුණා.