පාර්ලිමේන්තුව ලඟ සිද්ධියට පොලිස්පති සමාව ඉල්ලයි!

පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියයි.

ඔහු මේ බව පැවසුවේ අද උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා කණගාටුව පල කරන්නේ යුද හමුදාවටද, එසේ නැතිනම් පොලිසියටද, එසේත් නැතිනම් උද්ඝෝෂකයන්ටද යන්න එහි සඳහන් වන්නේ නැත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ පොදුවේ කණගාටුව පළ කර ඇති බවයි.

පොලිස් නිලධාරීන්ට කණගාටුව පල නොකරන්නේදැයි කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවත්වෙන බවයි. විමර්ශනය පවත්වන්නේ කොහෙන්දැයි කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක විමර්ශනය පවත්වන ආයතනයක් ප්‍රකාශ කළේ නැත.

අද උදෑසන පොලිස්පතිවරයා ද, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද උසස් පොලිස් නිලධාරීන් සමඟ මේ ගැන සාකච්ඡා කර තිබේ. පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට නොසිට හමුදාපතිගේ කීමට වැඩ කරන බවට පොලිසිය තුල විශාල සාකච්ඡාවක් ඇති වී තිබේ.

උසස් පොලිස් නිලධාරීන් රැසක් පොලිස්පතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරති. ‘පූජිත් මහත්තයාට බැන්නට පූජිත් මහත්තයා වත් මෙච්චර මෙහෙම වුණේ නෑ.’ යනුවෙන් අද උදෑසන ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරීන් පිරිසකගේ සාකච්ඡාවකදී එක් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

මෙම අවස්ථාවේදී පොලිස්පතිවරයා පොලිසියේ පැත්ත ගතහොත් ඔහුට ගැටලුවක් පැමිණියහොත් ඒ වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රකාශ කර තිබේ.

යුද හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ආයතන දෙකක ප්‍රධානීන් බැවින් හමුදාපතිගේ නියෝග හෝ ඉල්ලිම්වලින් පොලිස්පතිවරයා බැඳී නැතැයි තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා ජනතාවගේ පැත්තේ සිට ක්‍රියා නොකළහොත් පොලිස් නිලධාරීන් රැසක් පාරට බැසීමට ඉඩ ඇතැයිද තවත් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

තරිදු ජයවර්ධන