විරෝධතාවලට සහය දක්වන ආරක්ෂක නිලධාරීන් මර්ධනය කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කොට්ටාව නගරයේ විරෝධතාවට සයහ දුන් පොලිස් නිලධාරියා පිළිබඳ පොලිස් දෙපාර්තමෙන්තුවෙන් විමර්ශණයක් ආරම්භ කිරීම එම නිලධාරියාලේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය හීන කිරීමක් බවත් මෙවැනි ආකාරයේ ජනතා උද්ඝෝෂණවලට සහාය දක්වන රාජ්‍ය නිලධාරීන් මර්දනය කිරීම නතර කරන ලෙස සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් යොමු කර ඇත.

සාමාන්‍ය මහජනතාවට මෙන්ම පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශයක නිලධාරීන්ටද, ඕනෑම රජයේ සේවකයකුට ද රටේ ඇතිවී තිබෙන ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ පීඩනයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් එම නිලධාරීන්ගේ පවුල්වල උදවිය ද, මෙම සමාජයේම ජීවත්වන්නන් බැවින් සාමාන්‍ය ජනතාවට දැනෙන සියලුම ප්‍රශ්න ඔවුන්ටද දැනෙන නිසා මෙවැනි මර්ධන අසාධාරණ බවත් අදාල පැමිණිල්ලේ සදහන් කර ඇත.

එම පැමිණිල්ලේ පහතින්

සභාපති,

ශ්‍රී ලංකා මානය හිමිකම් කොමිෂණ් සභාව.

සභාපතිතුමියනි,

භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය හීන කරන පොලිස් විමර්ශනයක් සම්බන්ධවයි

උද්ඝෝෂණයක් අතරතුරදී ‘යුනිෆෝහ් ඇඳන් හිටියත් අපිත් ඔයාලත් එක්කම තමයි’ යනුවෙන් ප්‍රකාශ කළ පුද්ගලයකු කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ නිවේදනය කළේය. සාමාන්‍ය මහජනතාවට මෙන්ම පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශයක නිලධාරීන්ටද, ඔ්නෑම රජයේ සේවකයකුට ද රටේ ඇතිවී තිබෙන ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ පීඩනයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.

ඔවුන්ගේ පවුල්වල උදවිය ද, මෙම සමාජයේම ජීවත්වන්නන් බැවින් සාමාන්‍ය ජනතාවට දැනෙන සියලුම ප්‍රශ්න ඔවුන්ටද දැනීම අනිවාර්යවේ. එවැනි තත්ත්වයක තමන්ගේ පීඩනය පිට කර ගැනීම සඳහා ඔ්නෑම පුරවැසියකුට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හිමිවන අතර ‘ආයතන සංග්‍රහයෙන්’ හෝ වෙනත් ආකාරයකින් එම නිදහස හීන කළ නොහැකිය.

එලෙස හීන කළහොත් සිදුවිය හැක්කේ අනිවාර්යෙන්ම ඔවුන් තව තවත් පීඩනයට පත්වී ඉතා බරපතල සිදුවීම්වලින් පුපුරා යෑමට ඉඩ ඇත. මෙය බරපතල තත්ත්යකි. එසේ හෙයින් මෙම අවස්ථාවේ ජනතා උද්ඝෝෂණවලට සහාය දක්වන රාජ්‍ය නිලධාරීන් මර්දනය කිරීම නතර කරන ලෙස සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දෙන ලෙසත්, පොලිසියෙන් ආරම්භ කර ඇති ඉහත විමර්ශනය නතර කරන ලෙස කඩිනමින් පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ඉල්ලා සිටිමු. ස්තුතියි.

මෙයට, විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය