‘පළිගැනීම් කොමිසම’ දුන් නිර්දේශයක් අධිකරණයෙන් අත්හිටුවයි!

නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සුසිත් වීරසේකර මහතාට එරෙහිව උපාලි අබේරත්න ජනාධිපති කොමිෂන් සභාවෙන් නිකුත් කළ නිර්දේශ ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා මාර්ගයෙන් රියර් අද්මිරාල් සුසිත් වීරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබීය.

නාවික හමුදාවෙන් තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ නඩුවෙන් තමා මුදා හරින ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කළ පැමිණිල්ලක් අනුව උපාලි අබේරත්න විශ්‍රාමික විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබිණි. එම නඩුවේදී කරන්නාගොඩට එරෙහි ප්‍රධාන සාක්කිකරුවන් රියර් අද්මිරාල් සුසිත් වීරසේකර සහ ට්‍රවිස් සින්නයියා මහතා ඇතුළු පිරිසක් විය.

කරන්නාගොඩ මහතා නඩුවෙන් නිදහස් කරන ලෙසත්, සුසිත වීරසේකර මහතා ඇතුළු සාක්කිකරුවන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙසත්, ඔවුන්ට එරෙහිව අල්ලස් නඩු පවරණ ලෙසත්, සුසිත් මහතාගේ නාවික මහතාට ලැබුණු සියලුම ගෞරව නාම ඇතුළු හිමිකම් අහිමි කරන ලෙසත් ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි.

මෙම නිර්දේශ පදනම් කර ගනිමින් තවත් ජනාධිපති කොමිෂන් සභාවක් මගින් විමර්ශන ද ආරම්භ වී තිබේ. ‘පිස්සු පූසා කොමිසම’ ලෙස ප්‍රකට උපාලි අබේරත්න කොමිසම මෙම නිර්දේශ ලබා දීමට පෙර අඩු කරමේ සිසුත් මහතාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන තිබුණේ නැත. මේ සියල්ල අභියෝගයට ලක් කරමින් සුසිත වීරසේකර මහතා වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශලනි වීරරත්න, ශිලෝමි ගුණරත්න සහ රාධා කුරුවිටබණ්ඩාර සමඟ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනී සිටිමින් කරුණු දැක්වීය. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කළ අතර නඩුව විවාදය සඳහා ජුනි 21ට කල් තැබිණි.