අනුරගේ වාහනයට නැග්ගේ ආරක්ෂාවට ආපු කෙනෙක් – ජවිපෙ

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට පිටවෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ උද්ඝෝෂකයන් පිරිසක් අතර පැවති කතාබහක් අතරතුර අනුරගේ වාහනයට හෙල්මටයක් පැළඳ ගොඩ වුණේ ඔහුගේ ආරක්ෂාවට සිටි කෙනෙකු බව අනුර කුමාර දිසානායකට සමීප පුද්ගලයන් දෙදෙනකු පැහැදිලි කළා.

මේ දිනවල විරෝධතාවල යෙදෙන පිරිස් අතර විවිධ දේශපාලන අදහස් ඇති අයගේ විවිධ සටන්පාඨ පවා තිබෙන නිසා, ප්‍රකෝපකාරී පිරිස් එම පක්ෂයේ අයට පවා අනතුරක් කිරීමේ අවදානමක් ගැන විමසිල්ලෙන් සිටින බවත්, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ආරක්ෂාව සඳහා යොදවා සිටින බවත් එක් අයෙකු පැහැදිලි කළා.

ඔහු වැඩිදුරටත් කීවේ, සංවිධානාත්මක ලෙස මෙම විරෝධතාකරුවන් අතරට එකතු වී අනුර කුමාර දිසානායක වැනි නායකයන්ට එරෙහි විරෝධතා පවා සිදු කිරීමේ ඉඩකඩ නොසලකා හරින්න බැරි බව. එම හේතුවන් මෝටර් සයිකලයකින් එතැනට ආරක්ෂාව වෙනුවෙන් පැමිණි කිහිපදෙනෙක් සිටි බවත්, ඒ අතරින් කෙනෙකු වාහනයට ගොඩ වූ බවත්.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නොවුණත් මධ්‍යස්ථව අප අනුමාන කරන්නේ මෙය හුදෙක් අහම්බයක් බව. ජවිපෙ නායකයා උද්ඝෝෂකයන් සමග කතා කිරීම සංදර්ශනයක් නොවන බව. මන්ද මෙය සංදර්ශනයක් නම් වීඩියෝව කරන අතරතුරේ ඒ බව දැන දැන වාහනයට ගොඩ වීමට හේතුවක් නැහැ.

උද්ඝෝෂණ පසුපස ඉන්නේ ජවිපෙ බව ප්‍රචාරය කළත්, එම පක්ෂයට උද්ඝෝෂණ කිරීමේ අයිතියක් තිබෙනවා. පක්ෂයක් විදියට ඔවුන්ට එවැනි හැකියාවකුත් තිබෙනවා. ඔවුන් කරමින් ඉන්නවා. එය වරදක් නොවෙයි.

එහෙත් පසුගිය දිනවල පාරට බැස්ස උදවිය බොහොමයක් පක්ෂවලට හිතෙන් කැමැත්ත තිබුණා විය හැකි නමුත්, ක්‍රියාකාරීව පක්ෂවලට සම්බන්ධ නොවූ සාමාන්‍ය මිනිසුන් බව මොන වීඩියෝ ක්ලිප් ප්‍රචාරය කළත් සමාජගත කරන්න බැරි ඇත්තක්.