මේ මොහොතේ වත්මන් ආණ්ඩුවේ සිටින යම් යම් පිරිස් සමග හවුලේ ආණ්ඩුව බාරගන්නට සූදානමක් නොමැති බවත්, එවැනි කටකතා ව්‍යාජ ඒවා බවත් සමගි ජන බලවේගයේ නායකයන් කිහිපදෙනෙකු අප කළ විමසීම්වලදී පැවසුවා.
ආණ්ඩුවෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර තිබෙන මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුව පාර්ශ්වයත් සමග එක්ව ‘භාරකාර රජයක්’ පිහිටුවීමේ යෝජනාව පිළිබඳ විමසීම්වලදී මන්ත්‍රීවරුන් ඒ බව කීවා. මේ යෝජනාව ගැන විවිධාකාර අදහස් උදෑසන දේශපාලන අවකාශයේ පැතිරුණා. එක් ආරංචිමාර්ගයක කීවේ ඩලස් අලහපෙරුම අගමැති ලෙසත්, හර්ෂ ද සිල්වා මුදල් ඇමති ලෙසත් පත් කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් ඇති බව.
කෙසේ වෙතත් එම කතාව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළා.
‘මේ අර්බුදය ඒ විදියට විසඳන්න බෑ.’ තවත් එක් මන්ත්‍රීවරයෙකු කීවා. හවුල්කාර රජයකට අවශ්‍ය තීන්දු ගැනීම ඉතා අපහසු වන බවත්, බල අරමුණු මත එක් එක් කණ්ඩායම් එවැනි රජයක් කඩාකප්පල් කරන්නට ඉඩ තිබෙන බවත් ඔවුන් කීවා.
‘අපට ඉන්නේ මන්ත්‍රීවරුන් 52ක්. අපට ඒ සංඛ්‍යාව විතරක් තියාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය අල්ලාගන්න බෑ. අපි උත්සාහ කරන්නේ මහමැතිවරණයකට යන්න. ඒ වෙනුවෙනුත් ආණ්ඩුව පැත්තේ මන්ත්‍රීවරුන් එළියට බැහැලා පියවරක් ගන්න වෙනවා. ඔවුන් මුල් පියවර ගත යුතුයි. අපට ඇති බලය එක්ක පාර්ලිමේන්තුවේ සහ ඉන් පිට බලපෑම් කිරීමයි දැන් කළ හැක්කේ.’ යනුවෙන් තවත් මන්ත්‍රීවරයෙකු කීවා.
ඔවුන්ගේ එම අදහසේ ඇත්තක් නැතිව නෙවෙයි. විමල් වීරවංශලා යළි ඇමතිකම් බලාපොරොත්තුවෙන් භාරකාර ආණ්ඩු පිළිබඳ යෝජනා ඉදිරිපත් කළත්, ඇත්තටම එය සිදු කිරීම ලෙහෙසි නෑ.
කෙසේ වෙතත් අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් වීමේ ඉඩක් ඇතැයි ඉඟි පළ වෙනවා.