පාර්ලිමේන්තුවේ ලොකු පුටු මාරුවක්! ගෝඨාණ්ඩුව එළවන්නේ මෙහෙමයි

අප්‍රේල් 04 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී විශාල පුටු මාරුවක් සිදුවීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ සන්ධානයේ සාමාජික පක්ෂ නායක මනෝ ගනේෂන් අප කරපු විමසීමකදී කීවා.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහාය පළ කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව විමසා බැලීමට ඡන්දයක් පැවැත්විය යුතු බව ඔහු කීවා.

ඔහු ප්‍රකාශ කළේ එදින පාර්ලිමේන්තුවේදී තීරණාත්මක ලෙස රජයේ ප්‍රතිපත්තියට විවේචන එල්ල කරන බව. ඒ අප්‍රේල් 03 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතාවෙන් අනතුරුව.

ඒ අතරතුර ආණ්ඩුවෙන් ඉවත් වීමට කැමති මන්ත්‍රීවරුන් සමග එක්ව ආණ්ඩුව වෙනස් කිරීමට ගත හැකි පියවර සලකා බලන බව ඔහු වැඩිදුරටත් කීවා. 19 වැනි සංශෝධනය සම්මත කළ යුතු බවත්, ඉන් පසුව ජනාධිපතිවරයාගේ බලය දුර්වල කොට නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඔහු කීවා. ඉන්පසු පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරමින් ජනාධිපතිවරයාව ඉවත් කළ හැකි බවත්, වත්මන් ජනාධිපතිවරයාගේ ඉදිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති වෙනත් කෙනෙකු පත් කළ හැකි බවත් ඔහු කීවා.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ සලකා බලමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා.