ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ප්‍රමාණවත් කරුණු දැක්වීමකින් තොරව හදිසි නීතිය පැනවීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් මේ අවස්ථාවේදී ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ ජනතාව මුහුණ දී තිබෙන ගෑස් හිඟය, තෙල් හිඟය හා විදුලි හිඟය වැනි කරුණු සම්බන්ධයෙන් බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශේෂ රැස්වීමක් සඳුදා (4) පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබුණු නමුදු, හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉරිදා (3) පෙරවරුවේ අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය, කොමසාරිස් මඬුල්ල සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වයේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම අද උදේ සිට පැවැත්විණි. එහිදී ප්‍රධාන කරුණු හතරක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ප්‍රමාණවත් කරුණු දැක්වීමකින් තොරව හදිසි නීතිය පැනවීම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් කොමිසන් සභාව නිරීක්ෂණය කරන බවත්, මෙම අවස්ථාවේදී රජය වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ ජනතාව මුහුණ දී තිබෙන ගෑස් හිඟය, තෙල් හිඟය හා විදුලි හිඟය වැනි කරුණු සම්බන්ධයෙන් බවත් කොමිෂන් සභාව තීරණය කළේය. ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට සමාජ මාධ්‍ය පැවැතිය යුතු අතර එය සීමා කිරීම හෝ සම්පූර්ණයෙන් වසා දැමීම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් යැයි සිය දෙවැනි කරුණ ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වාදෙයි.
යම් පුද්ගලයකු සමාජ මාධ්‍ය වැරැදි ලෙස යොදාගන්නේ නම්, ඔහුට විරුද්ධව කටයුතු කිරීමේ හැකි නමුත්, සමාජ මාධ්‍යය සම්පූර්ණයෙන් වසා දැමීම හෝ අවහිර කිරීම පිළිගත නොහැකි බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට දැනුම් දුන් බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව සමාජ මාධ්‍ය අවහිර කිරීම කඩිනමින්ම ඉවත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට අවධාරණය කරන බවත් මෙම අවහිර කිරීමට ප්‍රථම, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් කරුණු විමසීමක් කර ඒ පිළිබඳ තක්සේරුවක් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණේ ද යන්න සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව අඟහරුවාදා, 5 වැනිදා ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර ඇත.
පොලිසියේ උසස් නිලධාරියකු, පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් නිලධාරීය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට ද තීරණය කර ඇත.
ඉකුත් දා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාව අතරවාරයේ දී ජනමාධ්‍යවේදීන්ට පහර දීම දැඩිව හෙළා දකින බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජනතාව වෙත තොරතුරු ගලා යෑම සීමා කිරීම පිළිගත නොහැකි බව ද ප්‍රකාශ කරයි. මේ අනුව අදාළ පහර දීම සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් කැඳවීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.
උද්ඝෝෂණයට පහර දීම, අත්අඩංගුවට පත්වූවන් පොලිසියට රැගෙන ගොස් පහරදීම, හදිසි නීතිය පැනවීම, ඇඳිරිනීතිය පැනවීම සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රේල් පළමු වැනිදා අලුයම සිට අද දහවල් වන තෙක් පැමිණිලි කිහිපයක්ම කර තිබිණි.