මර්දනය නොතකා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ පුරවැසියන් විවිධාකාරයෙන් අද උදෑසන සිට සාමකාමී විරෝධතා පවත්වති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස මෙන්ම භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීම සම්බන්ධයෙන් ද පුරවැසියෝ සිය විරෝධය පළකරති.
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස පළ කරමින් අද දිනයේ දිවයිනේ සියලුම ප්‍රදේශවල විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටියදී ඊයේ සවස ජනාධිපතිවරයා ඇදිරිනීතිය පනවමින් මංමාවත්වලට ජනතාව පැමිණීම වැලැක්වීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හදිසිනීතිය මෙන්ම ඇඳිරිනීතිය ද පැණවීම නීති විරෝධී සහ සදාචාර විරෝධී බවට බොහෝ පිරිසක් චෝදනා කළහ.
ඒ අනුව අද උදෑසන සිට පුරවැසි කණ්ඩායම් වීදි බැස උද්ඝෝෂණ කළහ. ඊට අමතරව ඇතැම් පිරිස් තම නිවාස ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ. ඇතැම් උද්ඝෝෂණවලදී පොලිසියේ පිරිස්ට උද්ඝෝෂකයන්ට සහාය දැක්වීම විශේෂත්වයක් විය. තව දුරටත් මේ තත්ත්වය පැවතියහොත් ශ්‍රී ලංකා පොලිසියේ පිරිස් ද විරෝධතා කරන තැනට තල්ලු විය හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනකුද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි යොමු කර ඇති බව දැනගන්නට තිබේ. ඇතැම් නිවාස ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි. ෆේස්බුක් පරිශීලකයෝ බොහෝ පිරිසක් තම ප්‍රෆයිල් පින්තූරය වෙනුවට කළු කොඩි හෝ කළු ඡායාරූප යොදා තිබෙන අතර බොහෝ ඇතැමෙක් නිවාස තුල විරෝධතා පුවරු අල්ලාගෙන සිටිමින් ඡායාරූප ගෙන ෆේස්බුක් වෙත මුදා හැර තිබේ.