රජයේ නීතිවලට හොරෙන් ෆේස්බුක් ඇවිත්, සමාජ මාධ්‍ය තහනමට විරෝධය පා ඩිජිටල් ඇමති නාමල්ට, දිලිත්ගෙනුත් බැණුම්

සමාජ ජාල අවහිර කිරීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම්, වට්ස්ඇප්, ස්නැප්චැට් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සහ පණිවුඩ ජාල අවහිර කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර තිබිණි.

සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත් පිළි නොගන්නා බවත්, VPN සේවා තිබෙන සමයක මෙවැනි තහනම් සහ අවහිර කිරීම් කිසිසේත් ම වැඩක් නැතැයි ද ඩිජිටල් තාක්ෂණ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය,  සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පවසා තිබිණි.

වඩාත් ප්‍රගතිශීලිව සිතා බලන්නැයි ද සමාජ මාධ්‍යය අවහිර කිරීමට ගත් තීරණය ගැන නැවත සිතා බලන්නැයි බලධාරීන් ට අවධාරණය කරන බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය කිරීමේදී ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර නැති බව පෙනී යයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයකු ලෙස සැලකෙන දෙරණ මාධ්‍ය ජාලයේ සම හිමිකරු දිලිත් ජයවීර මහතා ද නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයට පිළිතුරු දී තිබිණි.

ඔබ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා නොවේදැයි ? දිලිත් ජයවීර මහතා විමසා තිබිණි. “බාප්පට කියන්න බැරි ද” යන්න ද ඔහු විමසා තිබිණි.

මෙම ට්විටර් ගිණුම දිලිත් ජයවීර මහතාගේ ද යන්න වෙනම ම තහවුරු කිරීමට නොහැකි වුවත්, එය දෙස බැලීමේදී එය ඔහුගේ යන්න නිගමනය කළ හැකි කරුණු එහි දැක්විණි.

දිලිත් ජයවීරගේ මහතාගේ ට්විටර් පණිවුඩයට පිළිතුරු දී ඇති නාමල් රාජපක්ෂ මහතා විමසා ඇත්තේ, ඔබගේ  හොඳම මිතුරකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳව විමසන්නේ නැත්තේ ඇයි ද යනුවෙනි.

මේ සම්බන්ධයෙන් වන තමන්ගේ විරෝධය දැනටමත් අදාළ පාර්ශව වෙත දැනුම් දී ඇති බව කියන නාමල් රාජපක්ෂ මහතා, ඇයි ඔයාගේ හොඳම මිතුරකු වන ඔයාගේ බාප්පාට කතා නොකරන්නේ යනුවෙන් විමසා ඇත.