නාමල් රට යන්න ගියාද? තරිඳු බොරු කීවාද? නාමල් තරිඳුට දාපු කමෙන්ට් මැකුවේ ඇයි?

තරිඳු උඩුවරගෙදර

(අපි අද උදෑසන මේ ගැන යූටියුබ් වෙත අප්ලෝඩ් කරන්නට ගත් වීඩියෝව පැය හයකට ආසන්න කාලයක් තිස්සේ ඉතා මන්දගාමීව අප්ලෝඩ් වෙමින් තියෙන්නේ. ප්‍රමාදය නිසා මේ සටහන පළ කරනවා.)

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, සංවර්ධන අධීක්ෂණ හා සම්බන්ධීකරණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටවීමට සූදානම් බවත්, ඒ ගැන වීඩියෝ වාර්තාවක් ඉක්මනින් පළ කරන බවත් සඳහන් කරමින් මම ෆේස්බුක් පිටුවේ කෙටි සටහනක් පළ කළා. මේ සටහනට නාමල් රාජපක්ෂ කමෙන්ටුවක් දමා තිබුණා. පසුව ඔහු එය එඩිට් කළා. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අපේ ප්‍රවෘත්ති, වීඩියෝ, සමාජ මාධ්‍ය පිටු ෆලෝ කරන බව අපි දැනගෙන හිටියා. කොටින්ම චිචී රාජපක්ෂ මැතිතුමා මගේ ගිණුම බ්ලොක් කරලාත් තිබුණු බව හිතෙන්නේ, අපට රෝහිත රාජපක්ෂගේ ෆේස්බුක් පිටුව නොපෙනීයාම.

අපි මෙහි කතා කරන්නේ නාමල් රටින් යන කතාවේ ඇත්ත නැත්ත මොනවාද? මා පළ කළ වාර්තාව කුමක්ද? නාමල් මට ප්‍රතිචාර දැක්වුවේ ඇයි? අප අතර සම්බන්ධය මොකක්ද යන කරුණු.

නාමල් රාජපක්ෂ මහතාට හිතවාදී ෆේස්බුක් ගිණුම් කිහිපයක්ම එකවර ඇවිත්, නාමල් රාජපක්ෂ මහතා යම් තැනක හිටපු බව සඳහන් කරමින් කමෙන්ට් පළ කළා. ඒ එක්කම සැලකිය යුතු පිරිසක් මා ව්‍යාජ කරුණු වාර්තා කරන කෙනෙක් විදියට ප්‍රතිචාර දක්වමින් හිටියා.

මම මේ වාර්තාව නිහතමානීව, සමාව ඉල්ලමින් සහ මිත්‍රශීලීව කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පවා දන්නවා ඇති, අපි එදා ඉඳන් අද දක්වා අපේ මාධ්‍ය භාවිතය ඇතුළේ ඔවුන්ට දැඩි විවේචන කරලා තිබුණත්, ඔවුන් එක්ක තරහක් නොතිබුණ බව.

නාමල් රාජපක්ෂ මහතාගේ බාප්පා තමන්ගේ වෘත්තිය ඇතුළේ වෙච්ච වැරදිවලට සමාව නොඉල්ලුවාට, අපි අතින් වෙච්ච වැරදිවලට හැමදාම සමාව ඉල්ලලා තියෙනවා. ලොව පිළිගත් මාධ්‍යවේදී ආචාරධර්ම පද්ධතිවල තියෙනවා, මාධ්‍යවේදීන් අතින් ඕනෑ තරම් වැරදි වෙන්න පුළුවන්. මොකද, මාධ්‍යවේදියෙක් හැමතැනකම හිටගෙන ඉන්නේ නෑ. ඒ වැරැද්දක් වුණාම මාධ්‍යවේදියෙක් ගත යුතු පියවර ගැන උපදෙස් තියෙනවා. ඉතින්, වැරදි වාර්තාවක් ගැන සමාව ඉල්ලීම තමයි පළවැනිම දේ. අපි සමාව ඉල්ලනවා. නිවැරදි වාර්තාව ප්‍රකට කිරීම දෙවැනි දේ. ඒක අපි දැන් කරන්නම්.

මුලින්ම නරඹන්නන්ට, පාඨකයන්ට ලංකාවේ ගුවන් තොටුපළේ වීඅයිපී මූමන්ට්ස් ගැන අප කරුණු දන්න බව තහවුරු කරලා ඉන්නම්.

ඒ අප්‍රේල් 02 වැනිදා කටාර් එයාවේස් ගුවන් යානයක ලංකාවට මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් සහ තානාපතිවරයෙකුගේ බිරිඳක් ආවා. රෙෆරන්ස් අංක 80194 සහ 80266. මහ බැංකුවේ ඉහළ නිලධාරියෙකුගේ බිරිඳක් ආවා. රෙෆරන්ස් අංක 80266. බිරින්දෑවරුන් වන නිසා නම් ගම් කියන්නේ නෑ. ඒත්, ඕනෑ කෙනෙක්ට චෙක් කරන්න පුළුවන්.

අමාත්‍ය පියල් නිශාන්ත තමන්ගේ බිරිඳව බලන්න කියා යන්න සූදානමෙන් හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ලංකාවට ආවා. ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ ලංකාවෙන් පිට වුණා. ලෝඩ් නේස්බි ලංකාවෙන් පිට වුණා. ඉන්දීය අමාත්‍ය සුරේඛ් ප්‍රභාකර් පිට වුණා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බිරිඳ, දරුවා, බිරිඳගේ මව ඇතුළු පිරිසක් ලංකාවේ සිට මාලදිවයිනට පිට වුණා. ඒ හැන්දෑවේ 8.50ට මාලදිවයිනේ හුල්හුලේ දූපත හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා පිටත් වුණ අංක ඊකේ 653 සහිත එමිරේට් යානයෙන්. මේ බව අපට මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගන්න පුළුවන් වුණා. මේ යානය ඩුබායිවල වෙලාවෙන් පාන්දර 02.03ට එහේට ගොඩබසිනු ඇති.

කෙසේ වෙතත් මේ තොරතුර අපට ලැබෙද්දී, දැනගන්න ලැබුණේ නාමල් රාජපක්ෂත් රටින් පිට වෙන බව. අපට වැරදුණේ ඇයි? කොහොමද? අපි නාමල් යනවා කීවේ ඇයි?

ලංකාවේ වීඅයිපී කෙනෙක් කලින් සැලසුම් කළ විදෙස් ගමනක් යනවා නම්, ඒ බව කලින් ලැයිස්තුවක් හරහා දැනුම් දෙනවා. වීඅයිපී/ ස්පෙෂල් මූමන්ට් යන සිරස්තලයෙන් දිනපතා එන ලැයිස්තුවක් මේ. හැබැයි අපි කලින් කීව ගමන් අතරින් නාමල් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙ ගමන කල් තියා එවපු වීඅයිපී මූමන්ට් ලැයිස්තුවේ තිබුණේ නෑ. මේ ලැයිස්තුව කල් තියා එන එකක්නේ. අප්‍රේල් 02 වැනිදා හැන්දෑවේ තමයි දූරකථන ඇමතුමක් හරහා මේ පිරිස රටින් පිට වෙන බව දැනුම් දීලා තිබුණේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්ට මේ දැනුම්දීම කළාට පස්සේ, ඔහු තමන්ට විශ්වාසවන්ත අය හරහා තමයි මේ පිටවීම කරවලා තිබුණේ.