වත්මන් ජනාධිපතිවරයා යටතේම ‘අන්තර්කාලීන ආණ්ඩුවක්’ යන එකඟතාව යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නට ආණ්ඩුවේම සැලසුමක් ඇතැයි වාර්තා වෙනවා.
කෙසේ වෙතත් උක්ත යෝජනාවට සමගි ජන බලවේගය, ජවිපෙ ඇතුළු අනෙකුත් කිසිම පාර්ශ්වයක් තවම කැමැත්ත පළ කරලා නැති බව වාර්තා වෙනවා.
එය වැඩිම වුවහොත් මාස දෙකක් දක්වා දිවෙන ආණ්ඩුවක් වනු ඇතැයි ඔවුන් කීවා.
අන්තර්කාලීන ආණ්ඩුවක් යටතේ ඉතා කෙටි කාලසීමාවක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට තමයි යෝජනා කර ඇත්තේ. එම කාල පරිච්ඡේදය තුළ මෙරට අත්‍යවශ්‍ය කටයුතු පාලනය යන අවශ්‍යතාව වෙනුවෙන් කෙටි කාලසීමාවකට ආණ්ඩුවක් පත් කිරීම තමයි මුල් යෝජනාවේ සඳහන් වුණේ. ඒත් ජනාධිපතිවරයා එකඟ වුණේ කුමන යෝජනාවටදැයි පැහැදිලි නැහැ.
ඒ ගැන තහවුරු කරමින් විමල් වීරවංශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. අප කළ විමසීමකදී ඇමතිවරයෙක්ද මේ ගැන පැහැදිලි කර තිබුණා.
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවකට යහපත් ප්‍රතිචාර ලැබුණු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා තිබුණා. අප කරපු විමසීමකදී දැනගන්න ලැබුණේ ගෝඨා එයට කැමති වුණත්, මහින්ද රාජපක්ෂ ඒ යෝජනාව ‘සලකා බලන්නම්’ කියා ප්‍රකාශ කළ බව.
ඔහු කීවේ තමන්, උදය ගම්මන්පිළ සහ ටිරාන් අලස් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සාකච්ඡා කළ බව. එහෙත් සාමාන්‍ය ජනතාව වත්මන් ජනාධිපතිවරයා යටතේම වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව නොදක්වනු ඇති.
එහෙත් මේ වෙද්දී රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙස ඉල්ලා සිටීම.
කෙසේ වෙතත් මේ සාකච්ඡාව ගැන කරුණු දත් ඉහළ පෙලේ දේශපාලනඥයෙකු ප්‍රකාශ කළේ ඉදිරි කාලසීමාව ඇතුළත ආණ්ඩුවේ නායකයන් වත්මන් ආණ්ඩුව වෙනස් නොකළහොත් සතියක් ඇතුළත ආණ්ඩුවේ බහුතරය අහිමි කිරීමට සැලසුමක් ඇති බව. මේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නිල වශයෙන් කියා තිබුණා.
ආණ්ඩුවේ තවත් ප්‍රබලයෙකු කීවේ තමන් ඇතුළු කණ්ඩායමක් ඊළඟට පාර්ලිමේන්තුව රැස් වෙන පළවැනිම දිනයේ ඉල්ලා අසස් වන බව.
කෙසේ වෙතත් මෙවැනි යෝජනාවක් රාජපක්ෂලාගේ බලය රැකගැනීමට හෝ ඔවුන්ට ඉදිරියටත් ධුරය රැක ගැනීමට ගන්නා උත්සාහයක් විය හැකියි.
සමගි ජන බලවේගය වැනි පාර්ශ්වයක් එයට විරුද්ධ වුවහොත්, එය මේ වෙද්දී සාමාන්‍ය ජනතාව අතරින් පැන නැගුණු අරගලය පාවාදීමක් ලෙස සලකන්නත් ඉඩ තියෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයටත් විරෝධයක් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. අප සමග කතා කළ එක් සජබ මන්ත්‍රීවරයෙකු කීවේ තම කණ්ඩායමේ බොහෝ අය මේ ආණ්ඩුව සමග ඇමතිකම් නොගන්නා බව.
ඒ අනුව අන්තර්වාර රජයක් පිළිබඳ යෝජනාවක් සාර්ථක වුණත් සාර්ථක වනු ඇත්තේ මහමැතිවරණයක් පවත්වන දිනයක් නිශ්චිතව නියම කළොත් පමණයි. එවැන්නකින් පසු නිශ්චිත වැඩ සැලැස්මක් එළි දැක්වීමකින් තොරව හදිසි පැලැස්තර ආණ්ඩු මාරුවකින් සිදු වනු ඇත්තේ විරෝධතා යට ගැසීමට උත්සාහයක් පමණයි.