මිනිස්සුන්ට නිදහසේ රැස්වෙන්න, විරෝධය පාන්න දෙන්න – යුරෝපා සංගමය

නිදහසේ රැස්වීමටත් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටත් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නැයි යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ බලධාරීන් ට අවධාරණය කරයි. 

යුරෝපා සංගමය, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර පනවා තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත. 

නිදහසේ රැස්වීමටත් විරුද්ධත්වයප්‍රකාශ කිරීමත් සාමකාමී විය යුතු බව ද යුරෝපා සංගමය පවසා ඇත. 

මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට අභියෝගාත්මක සමයක් බවත්, යුරෝපා සංගමය සමීපව මෙම සිදුවීම නිරීක්ෂණය බවත් එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

යුරෝපා සංගමය නිකුත් කරන ලද ට්විටර් පණිවුඩය, නැවත රීට්විට් (retweet) කරන ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සූබර්ට් පවසා ඇත්තේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ සිය අවශ්‍යතා වෙනුවෙන් බවත් එය හදිසියක් නොවන බවත් ය. 

ජර්මානු තානාපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ. 

“ඔව් ඇත්ත, හදිසි අවස්ථාවක් තිබෙනවා. කෙසේ නමුත් අපි හේතුව සහ අනුඵල පටලවා ගන්න නරකයි. මිනිස්සු සිය අයිතීන් වෙනුවෙන් විරෝධතා කිරීම කිසිදු හදිසියක් නෙවෙයි. ඔවුන් වීදිවලට ගෙනෙන්නේ මේ හදිසි යයි.”

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි. 

සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තිබෙන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලි චංග් මහත්මිය සඳහන් කරයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ඒ බව සඳහන් කර ඇත.

“මම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. ඉදිරි දින කිහිපයේදීම සියලු පාර්ශවවලින් සංවරයක් හික්මීමක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පීඩාවට පත් පිරිසට සහන වගේම ආර්ථික ස්ථාවරත්වය දැඩි ව අවශ්‍ය” යැයි ද ඇය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ. 

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සිය අදහස් පළ කර තිබේ. 

ඔවුන්ගෙන් බොහෝ දෙනා ආණ්ඩුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමේ තීරණය විවේචනය කරමින් සිට භාෂාණයේ, ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කරන්නැයි අවධාරණය කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකාව ඇතුළු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක සාර්ථකත්වයට හේතු වන මූලධාර්මික කාරණයක් වන්නේ භාෂණයේ නිදහස සහ සාමකාමී නිදහසට ඇති අයිතිය යැයි ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් පවසා ඇත. විසඳුම් සොයාගත හැක්කේ අදහස්වල නිදහස් හුවමාරුව තුළින් බව ද ඔහු සඳහන් කර ඇත. 

මාධ්‍යවේදීන්ට සහ විරෝධතාකරුවන්ට එරෙහිව බලය යොදාගැනීම සහ මෑතකදී පැනවූ හදිසි නීතිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

සාමකාමී විරෝධතා කිරීමට පුරවැසියන් සතු අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයක අත්‍යවශ්‍ය අංගයක් යැයි ද ඇය සඳහන් කර ඇත.