කබ්රාල්ගේ වරලත් ගැලවෙයි?

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකත්වය අවලංගු කරන්නැයි ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ රැල්ලක් නිර්මාණය වී තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයකු වන අතර ඔහුගේ එම සාමාජිකත්වය අවලංගු කරමින් වරලත් ගණකාධිකාරිවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්නැයි ඉල්ලමින් මෙම රැල්ල නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ වත්මන් සිසුන්, සාමාජික සාමාජිකාවන් සිය ෆේස්බුක් ගිණුම් මාර්ගයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරීවරුන්ගේ ආයතනයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

ඔවුන්ගේ ඉල්ලීමට කන් නොදුනහොත් ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරීවරුන්ගේ ආයතනය ඉදිරිපිටට පැමිණෙන බව ද ඔවුන් සඳහන් කර ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සාමාජිකත්වය අවලංගු කරන්නැයි ඉල්ලමින් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වන සටහනේ මෙසේ ද දැක්වෙයි.

“ආර්ථිකය පිළිබද මූලික දැනුමක් වත් නැති අජිත් නිවාඩ් කබ්‍රාල් charted accountant කෙනෙක් උනේ කොහොමද කියන එක අදටත් ගැටලුවක්. මොහු කරන මේ වැඩෙන් සියලුම charted accountants ලගේ නම්බුව නැති වෙනවා. මොහුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට සියලුම ශිෂ්‍යයන් වරලත් ගණකාධිකාරි ආයතනයට බල කර සිටිනවා. නැතිනම් ඉතිහාසය පවසාවී charted accountant කෙනෙක් සල්ලි අච්චු ගහලා රටක් නැති කරලා දාපු හැටි. ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි වරුන්ට තියෙන පිලිගැනීම නැති වෙලා යාවී. සියලුම ශිෂ්‍යන තමන්ගේ විරෝධය පලකරන ලෙස ඉල්ලා සිටිනවා.”

වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන චූදිතයකු වන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් නොතකමින් දිගින් දිගටම මුදල් අච්චු ගැසීම, විනිමය අනුපාතය හිර කර ගෙන සිටීම යන චෝදනා ඔහුට එල්ල විය.

විදේශ සංචිත සහ විදේශ විනිමය අඩුවීම, රටේ විදේශ සංචිත ඉතා ම අවදානම් අඩියක තිබියදී විශේෂඥ උපදෙස් නොතකා ස්වෛරීත්ව බැඳුම්කර ණය පියවීම යන චෝදනාව ද ඔහු ට එල්ල විය.

හෙතෙම දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම ද ප්‍රතික්ෂේප කළ අතර මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව කියද්දී ද හෙතෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරමින් දැඩි ස්ථාවරයක සිටියේ ය.