මාධ්‍ය සංවිධාන ඩලස්ට, පොලිස්පතිට ලියයි!

ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුමටත්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාටත් ලිපි යොමුකරමින් ජනමාධ්‍යවේදීන්ට සහ ජනතාවට පහරදීම ගැන විරෝධය දක්වලා තියෙනවා.

වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අමාත්‍යවරයාට ලියූ ලිපිය පහතින්.

මාධ්‍යවේදීන්ට සහ නිරායුධ ජනතාවට අමානුෂික ලෙස පහර දීම හෙළා දකිමු !

රට තුළ උද්ගතවී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව 2022 මාර්තු 31 දින නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ සිදුකළ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සහ උද්ඝෝෂණයේ යෙදුනු නිරායුධ ජනතාවට පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදුකළ අමානුෂික පහරදීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

මෙම අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් මහජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතියට මෙන්ම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට එල්ල කරන ලද බරපතල අනතුරු හැඟවීමක් වන අතර ඒ මගින්  සිදුකරන්නේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන විසින් මහජනතාව වෙත ගෙන යා යුත්තේ රජයට හිතකර පුවත් පමණක් බව අවධාරණය කිරීමද යන බරපතල සැකය මතුවී ඇත. 

චතුර දේශාන්, අවංක කුමාර, නිසල් බදුගේ, වරුණ වන්නිආරච්චි, එම්. ඒ. පුෂ්පකුමාර, නිශ්ශංක, සංජීව ගාල්ලගේ, ප්‍රදීප් සංජීව, සුමේධ සංජීව, ප්‍රදීප් වික්‍රමසිංහ සහ සුලෝචන ගමගේ යන මාධ්‍යවේදීන් මෙසේ පහරකෑම් වලට ලක්වී ඇතිබව මේ වනවිට තහවුරු වී ඇති අතර, ඇතැම් මාධ්‍යවේදීන් තවමත් රෝහල්ගතව ඇත. මාධ්‍යවේදීන් බව තහවුරු කිරීමෙන් පසුවද පොලිසිය සහ ආරක්ෂක අංශයෙන්යැයි කියාගත් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් මාධ්‍යවේදියෙක් ජීප් රථයක නංවාගෙන ගොස් පහරදී නැවත මිරිහාන පොලිස් ස්ථානයට ගෙනවිත් භාරදී ඇතැයිද දැනගන්නට ලැබී ඇත.

මින් පෙර බොහෝ අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට රජයේ අනුග්‍රහය ලබන පිරිස් විසින් සිදුකරන විවිධ හිංසන පිළිබඳව ජනමාධ්‍යය විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබව දැනුවත් කර එවැනි දේ නැවත සිදුවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැදිහත්වෙන ලෙස ඉල්ලා සිටියද, ඒ පිළිබඳව මෙතෙක් ක්‍රියාත්මක නොවීම මත දිගින් දිගටම මාධ්‍යවේදීන් හිංසනයට ලක්වෙන බව අප සංගමය තරයේ විශ්වාස කරන අතර, මෙම අවස්ථාවේදීවත් මාධ්‍යවේදීන්හට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, අප සහෝදර මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටුකරදීමට මැදිහත්වෙන ලෙස ඉල්ලාසිටිමු.’

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත යොමු කරපු ලිපිය පහතින්.

භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සහ ඔබගේ පක්ෂග්‍රාහී හැසිරීම සම්බන්ධවයි

මිරිහාන පොලිස් වසමේ දී මාර්තු 31 වැනිදා සවස පැවැති සාමකාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලිසියෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ යුද හමුදාවෙන් යෙදවා කඳුළු ගෑස් ගැසීම, වෙඩි තැබීම සහ පහරදීම සිදු කිරීමත්, පිරිසක් අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ රඳවා තබා ගනිමින් අමානුෂික ලෙස පහරදීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර ඒ සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු.

මෙම සාමකාමී විරෝධතාවය අතරතුර යුද හමුදා බස්රථයට ගිනි තැබීම පොලිසියේ/හමුදාවේ/ ආරක්ෂක අංශවල හෝ ඔවුන්ගේ ආශිර්වාදය සහිතව සිදුවූවක් බවට ඊයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු රැසක් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළහ. තනි පුද්ගලයකු ගොස් බස් රථයට ගිනි තබද්දී පොලිසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම බුද්ධි අංශය එක වලක්වා නොගෙන ගිනි තැබීමට ඉඩදී බලා සිටීම බරපතල තත්ත්වයක් වන අතර සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා එලෙස කළ බවට අපි විශ්වාස කරමු.

මෙම සාමකාමී විරෝධතාවට ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් ඇතූළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ පහර දීමෙන් පසු අප්‍රේල් පළමු වැනිදා අලුයම මිරිහාන පොලිස් ස්ථානයට ගෙනැවිත් පහර දෙන බවට අපට තොරතුරක් ලැබිණි. ඒ අනුව අලුයම තුනත් හතරත් අතර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඔබට පිටපතක් යොමු කළේය. එසේ තිබියදී පොලිසිය විසින් ඔවුන්ට පහර දී උදෑසන 11 පමණ වන තුරු වෛද්‍ය ප්‍රතිකාරවත් ලබා නොදී තබා ගැනීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.

මෙම සිදුවීම් මාලාවට අදාලව පුරවැසියන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම තවත් මූලික අයිතිවාසිකම් රැසක් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති අතර එලෙස කටයුතු කරමින්

01) මිරිහාන පොලිස් ස්ථානය තුලදී පුද්ගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සහ එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එදින රාත්‍රී මිරිහාන පොලිස් ස්ථානයේ සිටි සහ එය අධීක්ෂණය කළ නිලධාරීන් ද, 

02) සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා පහර දුන් පොලිස් සහ හමුදා සාමාජිකයන්ද, පහරදීමට නියෝග කළ උසස් නිලධාරීන් ද, පහරදීම අධීක්ෂණය කළ නිලධාරීන් ද, 

03) බස් රථය ගිනි තැබීමට ඉඩ දී බලා සිටි පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද,

විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

මීට පෙර ඔබ වෙත කළ ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිම විමර්ශනයක් සිදු කර නැති පසුබිමක, ජනතාවගේ ආරක්ෂකයා විය යුතු රටේ පොලිස්පතිවරයා ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන පිරිස් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අතර,  පවතින තත්ත්වය තේරුම් ගනිමින් මින් ඉදිරියට හෝ ජනතා අයිතිවාසිකම් මර්දනය කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.’