මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ ඇයි දැයි දන්නේ නැහැ- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මිරිහානේදී ජන උද්ඝෝෂණයේ දී මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයි දැයි තමන් තවමත් නොදන්නා බවත් අදාල අත්අඩංගුවට ගැනීම් සිදු කළ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ‘සටහන්’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසීය.

තවද අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දී ඇති බවට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇති බවත් එවැනි විමර්ශන කටයුත්තක් ආරම්භ කර ඇතිදැයි විමසීමක් කළ අතර එවැනි පරීක්ෂණයක් ආරම්භ කර ඇති දැයි තමන් තවමත් නොදන්නා බවත් ඒ මහතා පැවසීය.

අදාල සිද්ධියට සැකපිට 55 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම පහරදීම සහ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ආරක්ෂක කැමරා සහ එම අවස්ථාවේදී සිදුවීම් රූගත කල කැමරා සහ ජංගම දුරකතනවල පටිගතවී ඇති දර්ශන යොදා ගනිමින් තවදුරටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් ඔහු පැවසීය.

මෙම සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ 35 දෙනෙක් රෝහල්ගතව ඇත. ඒ අය අතර මාධ්‍යවේදීන් තිදෙනෙක්, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙක්ද සිටින බව පොලීසිය කියයි.