ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් – දිලුම් අමුණුගම

මිරිහාන ප්‍රදේශයේදී මාර්තු 30 දින රාත්‍රියේදී උද්ඝෝෂණ සිදු කළ පුද්ගලයන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා ඇත.

අදාල පුද්ගලයන් බස් ගිනි තබමින් දේපොළවලට හානි කරමින් සිදු කර ඇත්තේ ත්‍රස්ත ක්‍රියා බවත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ අප්‍රේල් 01 වන දින පැවැත්වූ ‘ඇත්ත’ නම් මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා තිබුණි.

“නුගේගොඩ දී ඊයේ රාත්‍රි උද්ඝෝෂණයක් පැවැත්වුවා පොලිසිය තමන්ගේ දේපළවලට පවා හානි කරමින් කටයුතු කරද්දී ඉවසීමෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් අවසානයේ රාත්‍රියේ දී මේ ගිනි ගනිමින් තිබූණේ බස් රථය හරස් කරලා පාර වසා තිබුණු ස්ථානයේ. කණ්ඩායමක් එතනින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක් එල්ල කරලා මේ කණ්ඩායම් පලවාහරින්න කටයුතු කරලා ඒ ස්ථානය සුරක්ෂිත කරලා තියෙනවා. ඉතින් මේක තමයි සිදුවීම.

ඒ උද්ඝෝෂණයට බාධා කිරීම හෝ ප්‍රහාර එල්ල කිරීම ආදි කිසිදෙයක් සිදු වුණේ නෑ. නමුත් අවසාන barricade එක නැත්නම් ජනාධිපතිවරයාගේ නිවසේ barricade එක කඩාගෙන ගිනි ගනිමින් තිබුණු බස් රථය ඉවත් කරගන්න උත්සාහ ගනිමින් තිබුණු අවස්ථාවේදී තමයි කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. මේක මේ වගේ ඕනෑම තත්ත්වයක දී විශේෂයෙන්ම ජනාධිපතිවරයෙක්ගේ නිවසට ජනාධිපතිවරයා සිටියදී යමක් කරන්න උත්සාහ කිරීමේදී භාවිතා කරලා තියන අවම බලය තමයි බාවිතා කරලා තියෙන්නේ. සිදුවීමේ ඇත්ත තත්ත්වය ඒක. මෙය සංවිධානය වුණේ කොහොමද කවුද කියන එක පිළිබඳව ඒක වෙනම කතාවක්. ඒ පිළිබඳව කරුණු අනාවරණය කෙරෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුණත් මෙහිදී අත්අඩංගුවට ගන්න පුළුවන් මොකද මේවා ත්‍රස්තවාදී ක්‍රියා. මොකද 88-89 කාලෙත් අපි දන්නවා බස් ගිනිතිබ්බා පොලිසීවලට ගිනිතිබ්බා.” යැයි ඔහු පවසා තිබුණි.