චොකලට් කෑමෙන් ‘චොකා මල්ලි’ වූ අහිංසකයා නිදහස් වීම එක්කම, දොඩංගොඩ තමන්ටම වෙඩි තියාගත්තාදැයි සැකයක් පුරවැසි හිත් තුළ ඇති වෙලා!
ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් ඉටු වේ!
ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිව 2015 ජනාධිපතිවරණ සමයේ ශාන්ත දොඩංගොඩ මහතාව ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කරලා.
තීන්දුවේ වැඩිදුර තොරතුරුත්, ප්‍රේමලාල් ජයසේකර ගැලවුණේ කෙලෙසද යන කරුණුත් අපි ඉදිරියේදී සොයා බලා වාර්තා කරන්නම්.
කෙසේ නමුත් ඝාතනයට ලක් වූ ශාන්ත දොඩංගොඩ කවුරුන් විසින් මරා දැමුවාදැයි අලුත් ප්‍රශ්නයක් පැන නගිනවා. සමහරවිට දොඩංගොඩ එදා තමන්ටම වෙඩි තියා ගන්න ඇති.
2015 ජනවාරි 07 වැනිදා ශාන්ත දොඩංගොඩ මහතා රත්නපුර රෝහලේදී මරණයට පත් වුණා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් තිබුණ මැතිවරණ රැළියකදී සිදු වූ වෙඩි තැබීමක් නිසා. මෙය එවර ජනාධිපතිවරණයේ දරුණුම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාව වුණා.
අපරාධය පිළිබඳ චෝදනාව ප්‍රසිද්ධියේ චොකා මල්ලිට එල්ල වුණා.
එහෙත් දැන් චොකා මල්ලි පාර්ලිමේන්තු පැමිණීමෙන් පසු, මෛත්‍රීපාල සිරිසේන සහ චොකා මල්ලි එකම පාර්ලිමේන්තු කණ්ඩායමක සිටින අයුරුත් දකින්න ලැබුණා.
ශාන්ත දොඩංගොඩ තමන්ගේ ජීවිතයේ ලොකු කොටසක් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය වෙනුවෙන් කැප කරපු කෙනෙක්.
“අපේ අම්මල අවුරුදු විස්සක විතර ඉඳන් ඔය දේශපාලනේ කරනවා. ඒත් ඕවායින් වැඩක් නැහැ කියලා අපි අම්මලට කියනවා. නෑ ඉතින් කවදාහරි ඕගොල්ලන්ට ආණ්ඩුවේ රස්සාවක් හම්බ වෙයිනෙ කියලා එතකොට අම්මා කියනවා. ඒත් අපි ආණ්ඩුවේ රස්සාවකට ඇප්ලයි කළත්, ඇප්ලයි කරලා ජොබ් එකක් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ නැහැනේ. මොකක් හරි දේශපාලන තල්ලුවකින් තමයි ඒවා ලැබෙන්නේ. අපි හැමදාම පෞද්ගලික ආයතනවල රස්සාව කළේ. අපි අද මෙහෙම ඉන්නෙත් ප්‍රයිවට් ජොබ් කරලා. අම්මා තාත්තා මහන්සියෙන් හම්බ කරලා අපට දුන්නා ඇරෙන්න වෙන දෙයක් අපිට නැහැ.” යනුවෙන් බීබීසීය වෙත අදහස් දැක්වූ ඔහුගේ දියණිය සුනාලි දොඩංගොඩ කියා තිබුණා.
“මගේ තාත්තා කරපු වැරැද්ද මොකක්ද? දේශපාලනය කරන්න මිනිහෙකුට අයිතියක් නැද්ද? අපි කාටවත් ගහන්න ගියාද? අපි කරපු වැරැද්ද මොකක්ද? අපි මිනිස්සුන්ගෙන් මොනවද කඩාවඩාගෙන තියෙන්නේ? අපි රටක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඉදිරිපත් වුණා තමයි, හැබැයි මහ පාරේ වෙඩි තියලා මරලා දාන්න තරම් වැරද්දක්ද ඒක? එච්චර තිරිසන් තීන්දු ගන්න තරම් මිනිස්සු තිරිසන්ද?” යනුවෙන් ඔහුගේ පුතා සුමංග දොඩංගොඩ විමසා තිබුණා.
