‘බැසිල්ට කෙළවන්න’ අලුතින් විපක්ෂයක් හදන බවට විමල් ඉඟි කළාලු!

නව විපක්ෂ කණ්ඩායමක් පිහිටුවා පාර්ලිමේන්තුවේ විපක්ෂ බංකුවල අසුන් ගැනීමේ සූදානමක් තියෙනවා කියලා හිටපු ඇමති, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉඟි කරලා.

ඒ මාර්තු 28 වැනිද රෑ ස්වර්ණවාහිනියේ තියෙන සජීවී වැඩසටහනකට එකතු වෙමින්. ඔහු කියා තිබුණේ තමන් සහ මන්ත්‍රී උදය ගම්මන්පිළ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් විදියට ඉඳගෙන ඉන්න බව.

ඒත් විපක්ෂයේ ඉඳගෙන ඉන්නවාදැයි ඇසූ විට ‘තාම නැහැ’ යනුවෙන් වීරවංශ මහතා උත්තර දී තිබුණා. දැන් විපක්ෂයේ ඉන්නේ අහවල් අහවල් කණ්ඩායම් බවත්, ඉදිරියේදී විපක්ෂයේ අලුත් කණ්ඩායමක් බිහි කිරීම අපේක්ෂාව බවත් විමල් වීරවංශ කියා තිබුණා. ඒ තුළින් ආණ්ඩුවට බහුතර බලය අහිමි කරන බවත්, බැසිල් රාජපක්ෂගේ මුදල් ඇමති ධුරය ඒ හරහා ඉවත් කරන බවත් ඔහු කියා තිබුණා.

විමල් වීරවංශ එම සංවාදයේදී වැඩි වැඩියෙන් බැසිල් රාජපක්ෂව ඉලක්ක කරමින් නොයෙකුත් චෝදනා එල්ල කළා. ඒවා යථාර්තවාදී ඒවායිනුත් එහා ගිය කුමන්ත්‍රණ න්‍යායන්. බැසිල් රාජපක්ෂ ‘බටහිර සහ ඉන්දියානු හිතවාදී කුමන්ත්‍රණකාරයෙක්’ විදියට ඉස්මතු කරන්න විමල් කටයුතු කළා. ඒ වගේම බැසිල් රෝ ඔත්තු සේවයට සම්බන්ධ කරන්නත් විමල් ව්‍යංගයෙන් කතා ගෙනහැර පෑවා.

ලංකාවේ විනාසයට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා ගජමිතුරන් ඇතුළු පිරිස්වල දූෂිත ක්‍රියාකලාපයන් හේතු වුණා නම්, ඒ තරමටම ඒ දූෂිතයන් වීරයන් බවට හැරවූ විමල් වීරවංශලාගේ ජාතිකවාදී කුමන්ත්‍රණ න්‍යායන් හේතු වුණා. බටහිර රටවල් අහිංසක, අපේ රටේ දියුණුවට ආදරය කරන අය නොවන බව හැබෑවක්. අප වැනි රටවල්වලට ඔවුන් කරන බලපෑම් තියෙන බවත් ඇත්ත. ඒත්, බටහිර රටවල්වලට ලංකාව වනසනවා හැර වෙන වැඩක් නැතැයි ඉස්මතු කර පෙන්වීමත්, ලංකාවේ මානව හිමිකම් රැකීමේ ඉඳන් තවත් නොයෙකුත් දේවල් ‘බටහිර හිතවාදී වැඩ’ විදියට මවා පෙන්වීමත් මානසික ව්‍යාධියක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ ව්‍යාධිය බෝ කළේ විමල් වීරවංශලා.

දැන් ඔහුගේ අදහස් දැක්වීම්වලින් පෙනෙන්නේ බැසිල් රාජපක්ෂ නම් අලුත් වීදුරුවේ දේශද්‍රෝහී බටහිර කුමන්ත්‍රණකාරයා නම් පරණ වයින් පුරවා දෙන බව. මීට කලින් රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා හෝ මෛත්‍රීපාල සිරිසේන දුෂ්ඨයා වෙලා හිටියා නම්, ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ අලුත් දුෂ්ඨයා වී සිටින බව.