ආණ්ඩුව කිව්ව තරම් සංචාරක ආදායමක් මුල් මාස දෙකේ නෑ! සංචාරක ආදායමේ ඇත්ත දත්තවලින් හෙළිවේ!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සංචාරක කර්මාන්තයෙන් පළවැනි මාස දෙකේ ගේනවා කියලා අනුමාන කරපු ආදායම, ඇත්තටම ලැබිලා නැති බවත්, ආදායම අඩු වී ඇති බවත් මහ බැංකුවේ නවතම සතියේ ආර්ථික දර්ශක වාර්තාවෙන් අනාවරණය වෙනවා.

සිකුරාදා නිකුත් වූ සතියේ ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙන්නේ 2022 ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා සංචාරක ව්‍යාපාරය හරහා උපයා ඇති මුළු ආදායම, අනුමාන කරපු ගාණට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 261කින් අඩු බව.

ඒ කියන්නේ සංචාරක මණ්ඩලය මුලින් තක්සේරු කරලා තිබුණ ආදායම ඩොලර් මිලියන 583ක්. ආණ්ඩුව නිල වශයෙන් කීවේ එච්චර ගාණක් ඒවි කියලා. ඒත්, ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ ඊට අඩුවෙන්. දැන් ඒ ගාණ ඩොලර් මිලියන 322කට පහළ වැටිලා.

මීට කලින් පෙබරවාරි 11 වැනිදා නිකුත් කරපු මහ බැංකුවේ වාර්තාව අනුව ජනවාරි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 110.7යි. ඒත්, පෙබරවාරි 18 වැනිදා නිකුත් කරපු ඊළඟ සතියේ වාර්තාව අනුව ඒ ආදායම ඩොලර් මිලියන 268ක් විදියට සටහන් වුණා. ඒ කියන්නේ සතියක් ඇතුළත, ඊට කලින් මාසයේ ලැබූ ආදායම පිළිබඳ දත්ත අනුව, ඒ ආදායම ඩබල් වී තිබුණා.

කොහොම නමුත්, මීට කලින් ඇමෙරිකන් ඩොලර් 215ක් එක් සංචාරකයෙක් දවසට වියදම් කරන ගාණ විදියට දාලා තිබුණත්, ඒ අගය පසුව ඇමෙරිකන් ඩොලර් 175ක් විදියට සංශෝධනය වෙලා තිබුණා.

ඊට අමතරව දවස් 15.1ක් විදියට ඇස්තමේන්තු කරපු, එක් සංචාරකයෙක් ලංකාවේ රැඳී ඉන්න කාලසීමාව දවස් 10.23ක් විදියට අලුතින් සංශෝධනය කරලාත් තියෙනවා.

ඒ කියන්නේ ආණ්ඩුව හිතපු තරම් සංචාරකයන් වියදම් කරන්නේත් නෑ. හිතපු තරම් දවස් ගාණක් රැඳිලා ඉන්නේත් නෑ.