කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ස්ථිරවම ලබාදීමට කැබිනට් මණ්ඩලය එවක ගෙන තිබූ තීරණයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
මාර්තු 29 වෙනිදා මේ නියෝගය නිකුත් කරලා තිබුණේ පී පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ලය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු ගොණුකර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නියෝගය තවත් සති 04 කින් බලාත්මක වන බවත් එතැන් සිට මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු එම අතුරු තහනම් නියෝගය බලාත්මක වන බවත් නියෝගයේ සදහන් කර ඇත.
කැබිනට් පත්‍රිකාව අනුමත කර ගැනීම
මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත්තේ 2019 වර්ෂයේ ඔක්තෝබර් 15 වන දා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ සංදේශයකට අනුවය.
මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සදහන් කර තිබුණේ මෛත්‍රිපාල මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට තවදුරටත් විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවල්ද ලබා දීමට අනුමැතියද ලැබෙන ආකාරයෙන්ය.
මහගමසේකර මාවතේ පිහිටි මෙම නිල නිවස ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම දිවිය ගත කළ නිවසය. එය අමාත්‍යවරුන් දෙදෙනෙකු සදහා වෙන් කෙරුණු එකිනෙකට යාබද නිල නිවාස දෙකක් ලෙසය. ඩී. බී. විජේතුංගගේ අභාවයෙන් පසු එම නිවස කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පදිංචිව සිටි නිවස ඇතුළු නිවාස තුනක් කඩා එක්කර හැදූ දැනට ජනාධිපතිවරයා වාසය කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස එම දීමනා පැකේජයට අයත්ය.
මෙම නිවස ප්‍රතිසංස්කරණය කර මෛත්‍රීපාල මහතා සිය නිල නිවස ලෙස භාවිතයට ගත් අතර ඔහු එයට හේතුව ලෙස පැවසුවේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කළහොත් ඒ සදහා විශාල මුදලක් වැය වන බවය.
හිටපු ජනාධිපතිවරයාට දීමට නියමිත එම නිල නිවස ප්‍රතිසංස්කරණයට පමණක් ලක්ෂ 1800කට ආසන්න ප්‍රමාණයක් වැය වී තිබුණු බව එම සමයේ මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබුණි. තවද එම නිවසේ ආසන සහිත සම්මන්ත්‍රණ ශාලාවක්ද ඇත.
හිටපු ජනාධිපතිගේ නිවේදනය
2019 අගෝස්තු 23 වෙනි දින හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ නිවස සින්නක්කරව තමන්ට පවරා ගත් බවට පළ වන තොරතුරු සාවද්‍ය බවය.
වරප්‍රසාද සම්බන්ධයෙන් නඩු තීන්දුවක්
1986 ජනාධිපතිවරයාගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් මගින් විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රාසද අවධාරණය කර ඇත.
2005 වසරේදී සිවිල් පුරවැසියන් දෙදෙනෙකු ගොනු කරන ලද නඩුවක තීන්දුවක් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අදාළ ව එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා 2007 වසරේ මාර්තු 02 වන දා දුන් නඩු තීන්දුවක් අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාදවල සංශෝධන සිදුව තිබුණි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් (SC FR503/2005) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ම ඇයගේ ප්‍රදාන සහ හිමිකම් පිළිබඳව ගෙන තිබූ කැබිනට් තීන්දු අවලංගු කර තිබුණි.
සුපිරි නිවසක් ඕනෑද?
ජනාධිපතිවරුන් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කර තිබුණි.
‘1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත’ට අනුව, “සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”
යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය. මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

