මෛත්‍රී – මහගමසේකර මාවතේ නිවසේ නඩුවට විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

ජනපති මන්දිරයට එරෙහි පෙත්සම් විභාගයට

තමන් ජනාධිපතිව සිටියදී වාසය කළ කොළඹ මහගමසේකර මාවතේ නිවෙස විශ්‍රාම යෑමෙන් පසුවත් භාවිතයට ගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට 5ක හෝ ඊට වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් ගොනු කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගත් මෙම කැබිනට් මණ්ඩල තීරණය පෙත්සම මඟින් අභියෝගයට ලක් කර ඇති බවත් එම කරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1),43(2) යන වගන්ති සමඟ සලකා බැලිය යුතු කරුණු බැවින් එය පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බව සිරිසේන මහතා තම මෝසමේ සදහන් කර ඇත.

එබැවින් එම පෙත්සම නැවත කැඳවීම දිනට පෙර එම විනිසුරු මඩුල්ල නම් කිරීම පිළිබඳව සුදුසු තීරණයක් ගන්නා ලෙස එම මෝසමෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලා ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මෙම පෙත්සම ගොනු කර තිබුණු අතර නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්, ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර තිබුණි.