පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මාතර තියෙන උත්සවයකදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව ගැන දැවැන්ත බොරුවක් කියා තියෙනවා. මේ බොරුව සවුත්තු, නින්දිත එකක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියට අර්ථකනය කරමින් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු ආණ්ඩුව රැකගන්නට මේ බොරුව කියා තිබීම.
ඔහු මෙහෙම කියා තිබුණා.
“ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් විසුරුවාහරිනවා හැරෙන්නට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න කාටවත් බැහැ. ජනාධිපතිතුමාටවත් බැහැ. කවුරුන් කිව්වත් ජනාධිපතිතුමාටවත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු එකතුවෙලා මොනවා හරි වෙනසක් කරගන්නවා නම් ඒක වෙනම කතාවක්. නමුත් පාර්ලිමේන්තුව විසුරවාහරින්න වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ.”
මේක පට්ටපල් බොරුවක් වන්නේ ‘කවුරුන් කිව්වත්, ජනාධිපතිතුමාටවත් මේ මොහොතෙත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ’ කියන කෑල්ල. මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් පොහොට්ටුවට හොඳටම කෙළවෙනවා. ඇපත් නැතිවෙනවා. තුන්වැනි ස්ථානයත් ෂුවර් නෑ. ඒ නිසා මේ වෙලාවේ ඡන්ද නොතියා ආණ්ඩුව අල්ලං ඉන්න වැඩේ තමයි පොහොට්ටුවේ වුවමනාව.
හැබැයි ඒ ඒ දේශපාලන පක්ෂවල පටු වුවමනාවලට පක්කලි සර්විස් නොකර, කථානායක ධුරයේ ගෞරවය රැකගැනීම මහින්ද යාපා අබේවර්ධන මහතාගේ වගකීමක්. විශේෂයෙන් ඔහු ව්‍යවස්ථාදායකයේ නායකයා වන නිසා ව්‍යවස්ථාවේ ගෞරවය රකින එකත් ඔහුගේ වැඩක්. 2018 දී ව්‍යවස්ථාවට විරුද්ධව රාජපක්ෂලා බලය අල්ලාගත්ත වෙලාවේ කරු ජයසූරිය ඇත්තටම ඒ භූමිකාව ඉටු කළා. මීට කලින් අවස්ථාවල වෙන කථානායකවරුනුත් ඒක කළා.
ඒත් මහින්ද යාපා අබේවර්ධන මහතා තනතුරේ නම සවුත්තු කරන වැඩේ තවමත් කරමින් ඉන්න බව මෙවැනි ප්‍රකාශවලින් පේනවා.
ඇත්තටම එකම එක පිරිසක් එකතුවෙලා කීවොත් විසුරුවන්න පුළුවන් බව ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තුනෙන් දෙකකට නොඅඩු පිරිසක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (අ) කොටසේ මෙහෙම තියනවා. ‘පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේය.’ කියලා.
ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට අවුරුදු දෙකහමාරක් යනතුරු බැරි බව ඇත්ත. ඒත්, ඒ පාර්ලිමේන්තුව යෝජනා සම්මතයකින් විසුරුවාහරින්න ඉල්ලුවොත් මිස.
හැබැයි මේ ගැන විග්‍රහ කරද්දී උදය ගම්මන්පිළ අමාත්‍යවරයා කීව අදහසේත් යම්කිසි ප්‍රශ්නයක් අති වෙන්න පුලුවන්. අපි මේ දැන් උපුටා දැක්වූ ව්‍යවස්ථාවේ වචන අනුව කියැවෙන්නේ පාර්ලිමේන්තුව ‘ඉල්ලා සිටියහොත්’ කියලා. ඇත්තටම ව්‍යවස්ථාවේ ලියලා නෑ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණොත් ජනාධිපතිවරයා අනිවාර්යයෙන් විසුරුවාහරින්න ඕනෑමයි කියලා.
සමහරවිට ජනාධිපතිට විසුරුවාහරින්නේ නැතිව ඉන්නත් පුළුවන් කියලා මේක අර්ථකතනය වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මහින්ද යාපාගේ කතාව බොරු. ජනාධිපතිවරයාට අවුරුදු දෙකහමාරක් යනතුරු හිතුමතේට විසුරුවන්න බැරි බව ඇත්ත. ඒත්, ඊට පස්සේ පාර්ලිමේන්තුවට යෝජනා සම්මතයකින් කීවොත් ඒ තත්වය වෙනස් වෙනවා.
ඇත්තටම කීවොත් විමල් වීරවංශලා සහ ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවෙන් කැඩෙන පාර්ශ්වයටත්, සජබටත් මේ වෙලාවේ එකතු වෙන්න බෑ. එකතු වුණොත් සජිත්ලාගෙ පැත්තට සපෝට් කරන සමහර මිනිස්සු අපෝ අරුං එක්ක එකතු වුණාද කියලා කේන්ති යන්නත් ඉඩ තියෙනවා. අනෙක් පැත්තෙන් විමල්ලා මේ වෙලාවේ දේශනා කරමින් ඉන්නේ සම්පූර්ණ ජාතිකවාදී, දේශප්‍රේමී, බටහිර විරෝධී පරණ බයිලාවන් ටිකම තමයි. රට මෙතැනට ඇදලා දාපු බයිලාවන් ටිකම තමයි. ඒ බයිලා එක්ක සජබ එකතු වෙනවනං පිස්සුවක් තමා ඉතින්.
ඒ අනුව මේ දෙගොල්ලට එකතු වෙන්න පුළුවන් තැන තමයි ඡන්දයක් ඉල්ලා සිටීමට යෝජනාවක් සම්මත කර ගැනීම. සජබට දාන්න පුළුවන්. විමල්ලා සහ ශ්‍රීලනිපය ප්‍රමුඛ ටීම් එකට අත උස්සන්න පුළුවන්.