මං දැන්ම විශ්‍රාම යන්නෙ නෑ! රනිල් හෝ සජිත් මට අදාල නෑ – මහින්ද කියලා

තමන් අගමැතිකමෙන් ඉල්ලා අස් වී රනිල් වික්‍රමසිංහට තනතුර ලබා දෙනවා කියා සමාජ මාධ්‍යවල යන කතා මහින්ද රාජපක්ෂ නැවත වතාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ ඩේලි මිරර් වෙත කමෙන්ට් එකක් දෙමින්.

තමන්ගේ ධුර කාලය ඉවරවෙනතුරු තමන් අගමැතිධුරයේ ඉන්න බව ඔහු කියා තියෙනවා. ඉදිරි මැතිවරණත් ජයගැනීමට තමන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන් බව ඔහු කියා තියෙනවා.

රටේ ප්‍රශ්න තියෙන බව ඇත්ත වුණත්, ඒවා ඉක්මනින් විසඳන්න මේ වෙද්දීත් පියවර ගනිමින් ඉන්න බව ඔහු කියලා. ඔහු කියන විදියට ආණ්ඩුව ගැන මිනිස්සුන්ගෙ විශ්වාසය නැති වෙලා නැහැලු.

‘මැතිවරණයත් අපි දිනනවා. මට තව කල් තියෙනවා. මම දැන්ම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කියන කතා ඔක්කොම බොරු. මට රනිල් හෝ සජිත් සමඟ කිසිම සම්බන්ධයක්‌ නැහැ. ඒ කතා බොරු.’ කියලා මහින්ද කීවාලු.

මෑත දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වී වත්මන් ආණ්ඩුව අලුතින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට ලොකු ප්‍රචාරයක් ගියා. එහෙත් ඇත්තටම දේශපාලනිකව එවැන්නක් කරන්න කිසිම ඉඩක් නෑ. මේ ප්‍රචාරය මුලින් සමගි ජන බලවේගය පැත්තෙන් රනිල් වික්‍රමසිංහට ඩීල් චෝදනා එල්ල කිරීම පිණිස ආරම්භ කළ එකක්. රනිල් ගැන අපට විවේචන තිබුණත්, රනිල්- මහින්ද සම්බන්ධය අපේ අය හිතන තරම් සිම්පල් ඩීල් එකක් නෙවෙයි. ඒක ඊට එහා ගිය සංකීර්ණ දේශපාලන සම්බන්ධයක්. ඒ දෙන්නාම දන්නවා කවදාවත් තම තමන් නියෝජනය කරන දේශපාලන පාර්ශ්වවලට එකතු වෙන්න බැරි බව.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට මඩ ගසන්නට එල්ල කරපු මේ චෝදනාව, නැවත තමන්ගේ පැත්තට හරවාගන්නත් ඔවුන් සමත් වුණා. ‘රනිල්ට විතරමයි රට ගොඩගන්න පුළුවන්. ඒ නිසා රනිල්ට දෙන්න වෙනවා.’ වගේ කතා ඔවුන් කියන්න ගත්තා. ඒ අස්සේ සියලුදෙනා එකතු වූ ජාතික ආර්ථික එකඟතාවක් ගැන රනිල් කැම්පේන් එකකුත් පටන් ගත්තා. උපවාසෙකුත් කළා.

මේ ආර්ථික අර්බුදය විසඳන්න නම් ගන්න ඕනෑ පියවර ක්ෂණිකව ගැනීමේ හැකියාව ඕනෑ පක්ෂයකට, ඕනෑ කඳවුරකට තියෙනවා. ඒකට අවශ්‍ය උපදෙස් ගන්නට තැන් පවා තියෙනවා. ඒ වැඩේට රනිල් වික්‍රමසිංහ කියන වියපත් තනි මනුස්සයා අවශ්‍ය නෑ. ‘රනිල් නැතිව බෑ’ කියන එක මිත්‍යාවක්. රනිල් වික්‍රමසිංහ හැකියාවන්, දැනුම සහ අත්දැකීම් අතින් සජිත්ට හෝ වෙන බොහෝ නායකයන්ට වඩා පෘථුල කෙනෙක් බව ඇත්ත.

ඒත් මේ වෙලාවේ සියල්ලට වඩා සැබෑ ලෙස මිනිස්සු ගැන සංවේදීකමක් තියෙන නායකයෙකුත් අවශ්‍ය වෙනවා. මිනිස්සු එක්ක කනෙක්ට් වෙච්ච, මිනිසුන්ගේ සහයෝගය දිනාගත හැකි නායකයෙක් අවශ්‍ය වෙනවා.