ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් ක්‍රිස් රොක්ට පහරදීමේ සිදුවීම ගැන මුළු ලෝකයේම සංවාද කරමින් ඉන්නවා. විවිධ අය විවිධ අදහස් කියනවා.
ඇත්තටම ක්‍රිස් රොක් ගැන ගොඩක් අය දන්නේත් අඩුවෙන්. ස්ටෑන්ඩ්අප් කොමඩි කලාව හොලිවුඩ් සිනමාව තරම් ජනප්‍රිය නැහැනේ. සමහරු රොක්ව දන්නේ ඇඩම් සැන්ඩ්ලර්ගේ චිත්‍රපටිවල සපෝටින් රෝල් කරපු කෙනෙක් විදියට. ඒ නිසා අපි අන්තිමේදී රොක් ගැන කෙටියෙන් කියන්නම්.
සිදුවීම ගැන සම්පූර්ණ විස්තරේ නොදත් අයට කෙටියෙන් කතාව මෙහෙමයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයක් වූ නිසා ඉදිරියෙන්ම අසුනක විල් ස්මිත් ඉඳගෙන හිටියා. ක්‍රිස් රොක් නම් ලෝකයේ ඉහළම පෙළේ ස්ටෑන්ඩ්අප් කොමිඩියන් ඩොකියුමන්ට්‍රි චිත්‍රපටිය සඳහා සම්මානය ලබා දීමට පෙර හාස්‍යමය ඉදිරිපත් කිරීමක් කරමින් සිටියා.
ඒ අතරේ ක්‍රිස් රොක් විල් ස්මිත්ගේ බිරිද ජේඩා පින්කට් ස්මිත්ට විහිළුවක් කළා. ඒ, ඇගේ හිසකේ නැති, තට්ටිය පෙනෙන්නට තිබීම ඉලක්ක වූ විහිළුවක්. හැබැයි ඒක එච්චර නපුරු විහිළුවකුත් නෙවෙයි. ජීඅයි ජේන් චිත්‍රපටියේ දෙවැනි කොටස එනතුරු බලා ඉන්න බව විතරයි ඔහු කීවේ.
ජීඅයි ජේන් කියන්නේ අනූ ගණන්වල තිරගත වූ ඇමෙරිකාවේදී විශේෂ මෙහෙයුම් සෙබළ පුහුණුව ලැබූ පළමු කාන්තාව ගැන චිත්‍රපටියක්. පසුකාලීනව ග්ලැඩියේටර් පවා තැනූ රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටිය අසාර්ථක එකක් වුණා. එහි ප්‍රධාන චරිතය රඟපෑ ඩේමි මෝර්ගේ රංගනයටත් විවේචන එල්ල වුණා. ඒත් ඒ රංගනය වෙනුවෙන් ඇයට කොණ්ඩය බූගාන්නත් වුණා.
කොහොම වුණත් මේ විහිළුව වගේම මීට කලින් 2016 දී ක්‍රිස් රොක් කරපු විහිළුවකුත් විල් ස්මිත්ගේ කේන්තියට හේතු වෙන්න ඇති. රොක් විහිළුව කරද්දී, ජේඩා අපහසුවෙන් ඉන්න හැටි පේන්න තිබුණා.
ඇත්තටම මුලින්ම විහිළුවට හිනා වූ ස්මිත් ජේඩාගේ මූණේ අපහසුතාව දැකපු ගමන් නැගිටලා ඇවිත් ක්‍රිස් රොක්ට කණ හරහා පහරක් එල්ල කරන හැටි තමයි දකින්න ලැබුණේ.
පහර කෑවත් ක්‍රිස් රොක් කේන්තියක් පෙන්වන්නේ නෑ. තමන් පහරකෑමේ සිද්ධිය පවා විහිළුවකට හරවාගන්න ඔහු උත්සාහ කරනවා. ‘අම්මටහුඩු, මං විල් ස්මිත්ගෙන් කණ පුරා පාරක් කෑවා. මේක තමයි ටෙලිවිෂන් ඉතිහාසයේ මාරම මොහොත.’ වගේ අදහසක් සිනහමුසුව ප්‍රකාශ කරමින්.
මේ සිද්ධියෙන් පස්සේ හොලිවුඩ්වල කළු ජාතිකයන්ට උපදෙස් දෙන නඩේගුරා වෙච්ච ඩෙන්සල් වොෂිංටන් විල් ස්මිත්ට ඇවිත් උපදෙස් දුන්නා. විල් ස්මිත් හොඳම නළුවාට සම්මානය දින්නේ ඊට පස්සේ. සම්මානය ගනිද්දී තමන්ගේ හැසිරීම ගැන ඔහු සමාව ඉල්ලුවා.
‘යක්ෂයා ඔබ ළඟට එන්නේ, ඔබේ උපරිමයේදීයි.’ කියා තමන්ට ඩෙන්සිල් වොෂිංටන් දුන්න උපදෙස විල් ස්මිත් ප්‍රසිද්ධියේ කීවා.
දැන් විවිධ අය විවිධ පැතිවලින් මේ සිදුවීම ගැන අදහස් පළ කරනවා. ඒ ඒ අදහස්වලින් ඇත්තටම නිරූපණය වෙන්නේ අදහස් දරන්නා ගැන මිසක්, ක්‍රිස් රොක් හෝ විල් ස්මිත් ගැන නෙවෙයි.
විහිළු කිරීම ගැන ඔබ හිතන්නේ කුමක්ද? පිරිමින් ගැහැණුන්ගේ ආරක්ෂකයන් ලෙස හිතාගෙන විවිධ දේවල් කරන එක ගැන ඔබ හිතන්නේ මොකක්ද? අනෙක් පැත්තෙන් පිරිමි තමන්ගේ ගැහැණුන්ට එල්ල වෙන පීඩාවන් ගණන් නොගෙන ඉඳීම ගැන හිතන්නේ මොකක්ද? ගැහැණියකගේ නිදහස සහ ස්වාධීනත්ව ගැන හිතන්නේ මොකක්ද? මිනිසුන්ට පහරදීම සහ හිංසනය ගැන ඔබ හිතන්නේ මොකක්ද? ආදී නොයෙකුත් පැතිවලින් ඔබ ගැනම හෙළිදරව් වෙනවා.
සමහරුන් මෙතැනදී මතු කරන්නේ අවුරුදු විසිපහකට ආසන්න විල් ස්මිත් සහ ජේඩා ස්මිත් අතර විවාහ දිවියේ ඇතතැම් අඳුරු තැන්. මීට කලින් ජේඩා වෙනත් අය එක්ක ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ බව ඒ දෙන්නා ප්‍රසිද්ධියේ පිළිඅරන් තියෙනවා. ලිංගික දිවියේදී විල් තමන්ව තේරුම් අරන් නැති බව හැඟවෙන අදහස් ජේඩා ප්‍රසිද්ධියේ කියා තියෙනවා.
අන්න ඒ තැන් අල්ලාගෙන ‘ජේඩාට වෙන අය *කද්දී සද්ද නැතිව හිටපු විල්, විහිළුවක් කළාම මෙහෙම ගහන්නේ ඇයි?’ ආදී වශයෙන් සමහරුන් අහලා තිබුණා. එතැනදී හෙළි වෙන්නේ ජේඩා ලිංගික ස්වාධීනත්වයක් නැති භාණ්ඩයක් විදියට එහෙම අහන අය කල්පනා කරන බව. ජේඩාට කවුරුත් ඔය කියන ලිංගික ක්‍රියාව කළා නෙවෙයි. ජේඩා තවත් අය එක්ක සම්බන්ධතා පැවැත්වීමයි සිද්ධ වුණේ. ඒක කැමැත්තෙන් කළ දෙයක්. මෙතැන වුණේ ජේඩා අකැමැති විදියේ විහිළුවකට විල් ස්මිත් ප්‍රතිචාර දැක්වීමක්. ජේඩාගේ කැමැත්තට ඉඩ දීම වගේම, ඇයට කරපු විහිළුවකට විරෝධය පෑම කියන දෙකම තියෙන්නේ කාසියේ එකම පැත්තේ.
අනෙක් පැත්තෙන් ඔහොම ගහන එක තමයි මරු. අන්න පිරිමි. අන්න ආරක්ෂකයන් කියා කියන කෙනෙක් යම් විදියකට ගැහැණුන්ගෙ ස්වාධීනත්වය වෙනුවට, ගැහැණුන්ගෙ ආරක්ෂාවට හැම වෙලාවෙම දුවං එන ‘මහ පිරිමි’ සංකල්පයට කැමති වෙන්නත් පුළුවන්. බාහු යුග්ම තියෙන, ලොකු පිරිමියෙක්ගෙ සෙවණෙ වෙසෙන අහිංසක, දුර්වල ගැහැණියක් ගැන පසුගාමී අදහස් මත ඔය කතා කියනවා වෙන්න පුළුවන්.
හැබැයි ඒ අතරෙම ගෑණිට ඕනෑ එකක් කියද්දී, කරද්දී ඒවා ගණං ගන්නේ නැතිව, සමාජය ඉස්සරහත් සද්ද නැතිව ඉන්න මිනිස්සු ඇති. ඇත්තටම කිව්වොත් සමහර අවස්ථාවල ගැහැණියකට පිරිමියාගේ සපෝට් එක ඕනෑ වෙනවා, තමන්ගෙ ෆයිට් එකක් කරන්න. ඒ සපෝට් එකට එන එක, මම උඩින් කීව තර්කය යටතේ ගැහැණියට ‘පිරිමියා නැතිව බෑ’ කියලා හිතල කරන වැඩක් නෙවෙයි. ඒක වෙනම සීන් එකක්.
හැබැයි ඒ ඔක්කොම මැද්දේ ප්‍රසිද්ධියේ අත පය විසිකරලා, අනුන්ට පහරදීලා ‘යුක්තිය’, ‘සාධාරණය’ ඉටු කරගන්න හදනවා නං, ගහ මරාගෙන සාධාරණේ ඉටු කරන්න පුළුවන් කියල හිතනව නං එතැනත් අවුලක් තියෙනවා. ඒක ඇවිල්ලා විල් ස්මිත් පහරදුන්න එක ගැන විවිධ අය දක්වන අදහස මත තේරුම් ගන්න පුළුවන්.
හැබැයි අන්තිම ප්‍රධානම දෙයක් තමයි විහිළු කියන එක අපි බාර ගන්නේ කොහොමද කියන එක. හාස්‍යය කියන්නේ ලෝක ඉතිහාසය පුරා මිනිස්සු පාවිච්චි කරපු මාදිලියක්. හැබැයි හාස්‍ය කොරද්දී, තව කෙනෙකුගෙ දුර්වලතාවක්, නොහැකියාවක්, බැරිකමක් ඉලක්ක වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් සමාජ ඛේදවාචකයක් ඉලක්ක වෙන්න ඉඩ තියෙනවා. දැන් ලෝකෙ හොඳම හාස්‍ය ශිල්පීන් ඒ ඒ අයගේ වැඩවලට මාතෘකා කරගෙන තියෙන මූලාශ්‍ර බලන්නකෝ. එක්කෝ ජාතිවාදය. නැත්නම් ලිංගික කාරණා. ඛේදවාචක. මිනිස්සුන්ගෙ අඩුපාඩු. දුර්වලතා. විකෘතීන්.
එහෙම දේවල් මාතෘකාව වුණාම අනෙක් කෙනාට මළ පනින්නත් ඉඩක් තියෙනවා. ඒක තමයි ලෝක ඉතිහාසය පුරා හාස්‍ය කලාවත් එක්ක ඇවිල්ලා තියෙන බර මල්ල. අනෙක් පැත්තෙන් විහිළු කියන්නේ හරිම රසවත් දෙයක්. විහිළුවක් තහළුවක් නැතිව, හැමෝම අනෙක් එකාගේ දුක ගැන ‘සංවේදීව’ මුහුණු එල්ලාගෙන ඉන්න සමාජයකුත් කිසි රහක් නෑ.
මුලින්ම තේරුම් ගන්න ඕනෑ ක්‍රිස් රොක් මෙන්ම තවත් බොහෝ කොමඩියන්ලා පුද්ගලයන් ඉලක්ක කරමින් විහිළු කිරීම නිතර සිදු වෙන දෙයක් බව. ඒ විහිළු කරන තරමටම, ඒ විහිළුවලින් හිත් රිදවාගැනීමුත් සාමාන්‍ය බව. ඇත්තටම ඔවැනි අවස්ථාවල දරුණුම විහිළු කර ඇති කෙනා ක්‍රිස් රොක් නෙවෙයි. රිකී ජාර්වේස් කියන බ්‍රිතාන්‍ය හාස්‍ය ශිල්පියා තමයි මෙවැනි අවස්ථාවල දරුණුම විහිළු කරලා තියෙන්නේ. ඊට අමතරව බොහෝ ස්ටෑනඩ්අප් කොමඩි ශිල්පීන් ප්‍රසිද්ධ අයට ඉතා සැර, සමහරවිට නපුරු විහිළු කරලා තියෙනවා. ඒ අතරේ පුද්ගලයන්ගේ ආබාධ, ලිංගික අනන්‍යතා, ඔවුන්ගේ අසාර්ථකභාවයන්, නරක පුරුදු, ප්‍රසිද්ධියේ ඔවුන් ලැජ්ජාවට පත් වූ සිදුවීම්, ප්‍රේම සම්බන්ධතා බිඳී යෑම් ආදී නොයෙකුත් දේවල් විහිළුවලට ඉලක්ක වෙනවා.
ක්‍රිස් රොක්ගේ ටැම්බරීන් වගේ කොමඩි ස්පෙෂල් එකකදී කළු ජාතිකයෙක් වීම වගේම, තමන්ගේ ධනවත්භාවය ගැනත් විහිළු කළේ, තමන් තමන්ටම විහිළු කර ගැනීමක් විදියට.
අනෙක් පැත්තෙන් ක්‍රිස් රොක් වැනි අයව මෙවැනි අවස්ථාවලට කැඳවන්නේම විහිළුවක් තහළුවක් කරවාගැනීමේ අරමුණෙන්මයි. ඔස්කාර්ස් සංවිධානය කරන ඇකඩමි එක පවා ඔහු වැනි අයව ගෙන්වාගන්නේ ඔවුන්ගේ විහිළු සජීවී රූපවාහිනී විකාශයෙනුත්, ඊට පස්සේ යූටියුබ් වැනි මාධ්‍ය තුළිනුත් ප්‍රචාරය වුණාට පස්සේ සම්මාන උළෙලට අවදානය දිනාගන්නට හැකි වෙන බව දැන දැනමයි.
අනෙක් අතට ඔහු වැනි අය අනෙකුත් පුද්ගලයන්වත්, තමන්වමත් හාස්‍යයට ලක් කර ගැනීම සාමාන්‍ය දෙයක්.
උදාහරණයක් කීවොත් ක්‍රිස් රොක් 2016 ඔස්කාර් හොස්ට් හෙවත්, සම්මාන උළෙල මෙහෙයවන්නා වුණා.
(කෙසේ වෙතත් ඊට පසුව ක්‍රිස් රොක්ට සමාන මට්ටමේ සුපිරි කොමීඩියන් කෙනෙක් වන කෙවින් හාට් හොස්ට් ලෙස තෝරාගැනීමෙන් පස්සේ ඇති වෙච්ච ආන්දෝලනය නිසා, දැන් සම්මාන උළෙලට හොස්ට් කෙනෙක් නෑ.)
එවර විනාඩි 10ක් පමණ දිග ඔස්කාර් මොනොලොග් එක හෙවත්, සම්මාන උළෙලේ ආරම්භක කතාවේදී ක්‍රිස් රොක් ඔස්කාර් සම්මානවලදී කළු ජාතිකයන්ට ප්‍රමාණවත් තරම් සම්මාන නොලැබීම වගේම කළු ජාතිකයන් එවර අඩුවෙන් නිර්දේශ කිරීම ගැන මාතෘකාව ක්‍රිස් රොක්ගේ මොනොලොග් එකෙක් කේන්ද්‍රීය තේමාව වුණා.
2016 දී කළු ජාතිකයන් හරිහැටි නිර්දේශ වුණේ නෑ කියලා සමාජ මාධ්‍ය රැල්ලක් පැතිරෙද්දී, නිර්දේශ වෙන්න ඕනෑ කියලා ඇතැම් අය යෝජනා කරපු නමක් තමයි විල් ස්මිත්. ඒ කන්කෂන් කියන ෆිල්ම් එකේ රංගනයට. හැබැයි විල් ස්මිත්ව නිර්දේශ වුණේ නෑ.
ඔය අස්සේ ඒ සම්මාන උළෙල වර්ජනය කරන බව කියූ කළු ජාතිකයන් අතර ජේඩා ස්මිත් හිටියාලු. ඒ ගැන විහිළු කරමින් ක්‍රිස් රොක් කීවේ ‘ජේඩා ඔස්කාර් වර්ජනය කරන එක මම රිහානාගේ පාටි වර්ජනය කරනවා වගේ වැඩක්. මොකද, මට ආරාධනා කළේ නෑ.’ කියලා.
එයින් හැඟෙව්වේ ජේඩාට ඔස්කාර්වලට කතා කළේ නැති නිසා වර්ජනය විහිළුවක් කියලා. ස්මිත්ට සම්මානෙ නොලැබිච්ච නිසා ජේඩා වර්ජන කතාවක් කීව බව එහි හැඟෙව්වා. හැබැයි ඒ අතරේ තමන්වත් විහිළුවට ලක් කර ගත්තා.
මේ කියන මොනොලොග් එකේදී ක්‍රිස් රොක් ඉතා සියුම් ලෙස හොලිවුඩ් සිනමාවේත්, ඉන් පිට ඇමෙරිකාවේත් කළු ජාතිකයන්ට එරෙහි ජාතිවාදය ගැන ගැඹුරු අදහස් දැක්වීමකුත් කළා. කළු ජාතික නළුනිළියන්ට ඇති ප්‍රශ්නය සම්මාන උළෙලවල්වලදී නිර්දේශ නොවීමට වඩා, ඔවුන්ට හොඳ චරිත රඟපාන්නට හොලිවුඩයේ අවස්ථාව නොලැබීම බව ක්‍රිස් රොක් පෙන්වුවා. අනෙක් අතට ඒ මොනොලොග් එකේදී තවත් නළුනිළියන් කිහිපදෙනෙක්ට විහිළු කළා පමණක් නෙවෙයි, ඔහු ජෑස් සංගීත ලෝකයේ අතිවිශිෂ්ඨ නිර්මාණකරුවෙක් වූ ‘රේ චාර්ල්ස්ගේ’ මරණය පවා විහිළුවකට ඈඳා ගත්තා.
ක්‍රිස් රොක්ට දැන් වයස අවුරුදු 57ක්. සෑහෙන කාලයක් තිස්සේ ක්‍රිස් රොක් ඇමෙරිකාවේ අංක එකේ ස්ටෑන්ඩ්අප් කොමඩියන් වුණා. හොලිවුඩ් ෆිල්ම් ගොඩක වගේම සැටර්ඩේ නයිට් ලයිව් වැඩසටහනට ඔහු සහභාගී වුණා. ලෝක ඉතිහාසයේ හොඳම ස්ටෑන්ඩ්අප් කොමඩියන්ලා තෝරන ලිස්ට් අතිබහුතරයක පළවැනි දහය අතරේ ක්‍රිස් රොක් ඉන්නවා.
ඔහු අසූ ගණන්වල තමයි කලාවට යොමු වුණේ. මුල් කාලෙම ඔහුව එඩී මර්ෆි හඳුනගන්නවා. යම් විදියකට රොක්ගේ ගුරුවරයා මර්ෆි. ඒ කාලෙ බෙවර්ලි හිල්ස් කොප් 2 වගේ චිත්‍රපටිවලත් මියාමි වයිස් වගේ සීරිස්වලත් පොඩි චරිත රොක් රඟපෑවා.
ඊට පස්සේ රොක් හිට් වුණේ එස්එන්එල් හෙවත් සැටර්ඩේ නයිට් ලයිව් එකට ඔහු සෙට් වුණාම. ඊට පස්සේ බ්‍රින්ග් ද පේන් කියන ස්ටෑන්ඩ්අප් ස්පෙෂල් එක ක්‍රිස් රොක්ට ඉහළම ජනප්‍රියත්වයක් අත් කර දුන්නා. ඇත්තටම ඔහු මුල්ම ෂෝ එකේදීත් ඔජේ සිම්ප්සන් කියන විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයා කරපු මිනීමැරුම ගැන කුප්‍රකට නඩුව ඉලක්ක කරගෙන විහිළු කළා. ඇත්තටම ඛේදවාචක සහ සංවේදී මාතෘකා හැමදාම හාස්‍ය ශිල්පීන්ගෙ මාතෘකාව බවට පත් වෙනවා.
ඔහු බොහෝ විට කළු ජාතිකයෙක්ගෙ ජීවන අත්දැකීම් තමන්ගෙ විහිළුවලට පාදක කර ගන්නවා. ජාතිවාදය, ජාතිය ඔහුගේ විහිළුවල මාතෘකා. හැබැයි එතැනින් එහාට ගිහින් පිරිමි- ගැහැණු ලිංගික සම්බන්ධතා සහ පවුල් සම්බන්ධතාත් ඔහුගෙ විහිළුවලට සැහෙන ලක් වෙලා තියෙනවා.
ඇත්තටම නිර්මාණකරුවෙක්, රචකයෙක්, අධ්‍යක්ෂ කෙනෙක් විදියට විල් ස්මිත්ට වඩා සංස්කෘතික බලපෑමක් ක්‍රිස් රොක් කරලා ඇති. ස්මිත් සුපිරි නළුවෙක් නිසා ක්‍රිස් රොක්ට වඩා ප්‍රසිද්ධයි. ඒත්, නළුවෙකු කරන්නේ වෙනත් අයගේ නිර්මාණවල රඟපෑම වන නිසා, ක්‍රිස් රොක්ගේ අදහස් සමාජගත කිරීමේ බලය ස්මිත්ට වඩා වැඩියි.
ඇත්තටම අපි පෞද්ගලිකව මේ සිදුවීමේදී අහවලාගේ පැත්ත ගන්නේ නෑ. පහරදීමට අපි එකඟ නෑ. විහිළුව ජේඩාගේ හිත රිදවන එකක් වුණා නම්, ඒ්කෙදී ක්‍රිස් රොක් සමාව ගන්න ඕනෑ. තමන් හිතාමතා හෝ නැතිව තව කෙනෙකුගෙ හිත රිද්දුවොත් සමාව ගන්න එක හොඳයිනේ. විල් ස්මිත්ගේ පවුල් ජීවිතේ කලින් වෙච්ච දේවල් අපට අදාල නෑ. එයාලා කැමැත්තෙන් ජීවත් වෙන විදිය එයාලාගෙ අයිතිය. ක්‍රිස් රොක් විහිළු කරන්න ඕනෑ නෑ කියල හිතනවනං ඒකත් පිස්සුවක්. අනෙක් පැත්තෙන් විහිළුකාරයන්ට විහිළු කරන්න සීමා ඉරි අඳින්නත් ලේසි නෑ.
ඒ නිසා අපට සිද්ධිය ගැන ලොකු මතයක් නෑ. හැබැයි ඉතින්, මේ වගේ සිදුවීම් ගැන සංවාද කෙරෙන එක නං හරිම වැදගත්. සිද්ධිය වුණේ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස්වල ඉන්න මිනිස්සුන්ට විනෝදය විකුණලා සල්ලි හම්බකරපු ධනවතුන් පිරිසක් අතරේ තමයි. ඒත්, ඒ සිද්ධිය ගැන අපි කියන දේවල්, හිතන දේවල් සියල්ල මහපොළොවේ ඉන්න අපි සමාජය ගැන දකින, හිතන විදිය තේරුම් ගන්න වැදගත්.