බ්ලැක් ලේබල් විස්කි එක්ක ගිය ආණ්ඩු පක්ෂ රැස්වීම –

‘ගහලා මරා දමාවි! ගමටවත් යන්න බෑ’ මන්ත්‍රීවරු

මම ජාත්‍යන්තර හිඟන්නෙක් වෙලා – ජනාධිපති

(සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ සහ අනෙකුත් ඉරිදා පුවත්පත්වල දේශපාලන තීරුවේ පළ වූ කරුණු ඇසුරෙනි.)

පහුගිය අඟහරුවාදා ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තියෙද්දී, හැමෝගේම මනෝභාවය අඳුරු සහ නොසන්සුන් එකක් වුණා. ඒ වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂ හැම මන්ත්‍රීවරයාටම රැස්වීමට එන්න කියා නියෝග කරලා තිබුණා.

සාදයක ස්වරූපයක් පවා මේ සාකච්ඡාවට එකතු වෙලා තිබුණත්, සතුටු සාමිචියේ යෙදෙන විනෝදබර පෙනුමක් එතැන තිබුණේ නෑ. විස්කි සහ ප්‍රණීත කෑම ජාතිවලට වඩා බොහෝ අය හිටියේ දේශපාලන අනාගතය ගැන බයෙන්.

ඒ ස්වරයෙන් බ්ලැක් ලේබල් ස්කොච් විස්කි ‌වීදුරුවලට දමා ගන්නට සාදමය හමුව තිබුණ ස්ථානයේ කෙළවරේ තිබුණ බාර් එකට ඇවිදගෙන ගිය ඔවුන්, ඒ අතරතුරේ ඉදිරි දිනවල සහ සතිවල සිද්ධවීමට නියමිත දේවල් ගැන සාංකාවෙන් කතා කළා.

මහජන කෝපයෙන් රත්වෙමින් තියෙන මැතිවරණ කොට්ඨාශවලට යන එක ගැන පවා ඇතැම් අය දෙගිඩියාවෙන් හිටියාලු. තවත් සමහරු ඉස්සරහට එන මැතිවරණවලට තමන්ගේ පක්ෂවල ශාඛා සංවිධානය කරගන්නේ කොහොමද කියන එක ගැන කැළඹීමෙන් හිටියාලු.

ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟය ගැනත්, විදුලිය කැපීම ගැනත් මහජනතාව පීඩනයෙන් සිටීම මේ සියල්ලට හේතුව.

සමහරුන් රසමසවුළුවලින් පිරී තිබුණ කෑම බුෆේ එකෙන් කෑමත් නොකා එතැනින් පිට වුණාලු. ඉතිරි අය ප්‍රණීත කෑම කන ගමන් වුණත් සාංකාවෙන් හිටියාලු.

ඊට කලින් තිබුණ කණ්ඩායම් රැස්වීම පටන් ගන්න මඳ වෙලාවක් ප්‍රමාද වී තිබුණා. ජනාධිපති රාජපක්ෂ සහ වැඩිමල් සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ කකියන දෙන්නාම අරලියගහ මන්දිරයේ තිබුණ තවත් උත්සවයක කාර්යබහුල වෙලාලු හිටියේ. ඒක ලෝක ජල දිනය සැමරීමේ වැඩසටහනක්. ජලය නොමැති ලෝකයේ බිලියන දෙකක ජනගහනය ගැන සමරපු ඒ උත්සවය ජලය විෂය භාර ඇමති වාසුදේව නානායක්කාර මඟහැරියාලු. රාජ්‍ය ඇමති සනත් නිශාන්ත විතරක්ලු ගියේ.

කොහොම නමුත්, පටන් ගත්ත මන්ත්‍රී රැස්වීමේ වේදිකාවේ බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ජීඑල් පීරිස් සහ රාජපක්ෂලා හැරුණාම ආණ්ඩුවේ ලොකුම බලවතා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටියාලු.

රැස්වීමේ අරමුණ පැහැදිලි කළේ ගෝඨාභය රාජපක්ෂලු. අරමුණ ගෝඨාභය පැහැදිලි කරාවි කියා මුලින්ම ඉන්ට්‍රඩක්ෂන් එක දුන්න මහින්ද රාජපක්ෂ, රැස්වීම ඉවර වෙනතුරුම වෙනත් දේ නොකියා නිහඬව අහගෙන හිටියාලු. මේ තත්වය තමයි සර්ව පාක්ෂික සමුලුවේදීත් වෙලා තිබුණේ. මහින්ද කතා කළේ ඉතා අඩුවෙන්.

විනාඩි 40ක් අරන් අර්බුදය ගැන ගෝඨාභය කතා කරද්දී, සුපුරුදු විදියට විදේශ විනිමය හිඟයේ මුල ගැන රටට කියන කතා ටිකකම කීවාලු. සතියකට කලින් ජාතිය අමතා කරපු කතාවේත්, ඊටත් කලින් ඉඳන් කරපු කතා බොහොමයකත් තිබුණු (බොරු සහ අර්ධ සත්‍ය ඇතුළත්) කතාවමලු මෙතැනත් කළේ.

‘ මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ’ කියන අර්ථය රැගත් කතාවක් ඔහු කළාලු. අර්බුදය ‘නිර්මණය නොකළ’ බව ඇත්තක් වුණත්, අර්බුදය මේ දක්වා වැඩෙන්නට සැලැස්වුවේ තමන් බව ඔහු යට ගැසූ කතාව.

අර්බුදය විසඳන්න හැමදේම කරන බව ඔහු ප්‍රතිඥා දීලා කිව්වාලු.

ජනාධිපතිවරයා ඉතාා කම්පන සහගත හෙළිදරව්වකුත් මෙතැනදී කළාලු.

ඊට දින දෙකකට කලින් එල්පී ගෑස් වෙනුවෙන් ඩොලර් මිලියන 42ක් හොයා ගන්න මුළු දවසක් වැය කරපු බව ඔහු කියා තිබුණා. මිලියන හතළිස් ගාණක් හොයා ගන්න අමාරු තැනක රට තිබිලා තියෙන්නේ.

අලුත් අවුරුද්දකට පෙර ඉන්ධන සහ අනෙක් අවශ්‍යතා වෙනුවෙන් තවම සල්ලි හොයාගන්න රජය අසමත් වූ බව ඒ ඔහුගේ පැහැදිලි කිරීමෙන් හෙළි වෙනවා. දින කිහිපයකට මිලියන 42 හොයන්න අසීරු පසුබිමක, ඉදිරියේ දීර්ඝකාලීන පැවැත්ම කොහොම තහවුරු කර ගන්නද? ඒ නිසාම පෝළිම් අවසන් නොවී තවමත් තියෙනවා. බොහෝ පැතිවල අවන්හල් පවා වහලා දාලා.

මේ රැස්වීමේදී හෙළි වූ භයානක කාරණාව එක ගනුදෙනුවක් වෙනුවෙන් ඩොලර් හොයන්න ජනාධිපතිවරයාට අනෙක් රාජකාරී පවා පැත්තකට දාලා බලා ඉන්න වූ බව.

මේ වෙද්දී ජනතාවගේ පැත්තෙන් ආණ්ඩුවට එල්ල කරන පීඩනයත් වැඩි වෙනවා. ඒත් ඒ අතරේ ආණ්ඩුවත් සැලසුම් කරන විදුලිය කප්පාදු කරන පැය ගාණ තවත් වැඩි කරන්න.

ඒත් ගෝඨාභය තමන්ගේ කතාවේදී අර්බුදය ගැන කෙළින්ම ඔය කරුණු කියා තිබුණේ නෑ.

බැසිල් රාජපක්ෂත් තමන්ගේ කතාවේදී කකියා තිබුණේ ‘කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබී තිබෙනවා. ඒ නිසා වැඩවලට යොමු වී, මිනිස්සුන්ට තත්වය පැහැදිලි කරන්න.’ කියලයි.

ඒත් මේ වෙද්දී විපක්ෂයයි, සාමාන්‍ය ජනතාවයි තියා ආණ්ඩුවේම අය පවා රාජපක්ෂලාගේ පොරොන්දු විශ්වාස කරන තැනක නැහැ.

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඉන්ධන පෝළිම් සහ අනෙකුත් භාණ්ඩ හිඟයක් ගැන කීවාලු.

ඒ අතරේ එස්.බී. දිසානායක මේ අර්බුදය හිටපු ආණ්ඩුව නිසා ඇති වූවක් බව කියද්දී, ඇත්තටම සභාවේ සිනා නැගුණාලු. නොසන්සුන්තාවකුත් ඇති වුණාලු.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ගමට යන්න බැරි කතාව තියුණු විදියට කියා තිබුණා. ‘අපි පාරේ බැහැලා මිනිස්සු එක්ක වැඩ කරන මන්ත්‍රීවරු. කරුණාකරලා පාරේ තියෙන ඩීසල් පෝලිම්, භූමිතෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඉවර කරලා දෙන්න. එහෙම නොවුණොත් අපට ඔය කිසිම පෝලිමක් ළඟින් යන්න බැරිවෙයි. මිනිස්සු අල්ලන් ගහයි.’ කියා ඔහු කීවාලු.

ලංකාදීපයේ තියෙන විදියට ‘සමහරවිට මන්ත්‍රීවරයේ හම්බවුණොත් අර පාකිස්ථානයේදී එක්කෙනෙකුට ගහලා මැරුවා වගේ මරයිද දන්නෑ’ කියා ජගත් කුමාර වැඩිදුරටත් කීවාලු.

ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුවට එරෙහි විරෝධතා හිතාමතා විපක්ෂය සැලසුම් කරන ඒවා කියද්දී, ජගත් කුමාර ඒකටත් විරුද්ධ වුණාලු. ‘ඒක වැරදි මතයක්. මේ වෙලාවේ ජනතාව නැගිටලා කෑගහන්නෙ කාගෙවත් සංවිධානය කිරීමකින්වත් කුපිත කිරීමකින්වත් නෙවෙයි. මේකක මිනිස්සු අතරින්ම නැගෙන විරෝධයක්’ කියලා ඔහු කීවාලු.

ඊට අමතරව සමාජ මාධ්‍යවලින් ජනාධිපතිට සහ අගමැතිට විරුද්ධව දරුණු අදහස් හුවමාරු වෙනවා කියලත් මන්ත්‍රීවරුන් කීවාලු.

‘ඔබතුමාල හිතන් ඉන්නවද මම මොුත් දන්නේ නැහැ කියලා. මටත් බුද්ධි අංශවලින් තොරතුරු එනවා…’ යනුවෙන් ගෝඨාභය කී බව ලංකාදීපයේ තියෙනවා.

‘උදේට මම කී දෙනෙකුට කතා කරලා ඩොලර් ඉල්ලනවද. උදේ මෙහෙ අයට කතා කරල ඩොලර් ඉල්ලනවා. හවසට ජාත්‍යන්තරයෙන් ඩොලර් ඉල්ලනවා. දැන් මම ජාත්‍යන්තර හිඟන්නෙක් වෙලා ඉන්නේ.’ කියා බැසිල් කීවාලු.

ඒ අතරේ නිමල් ලාන්සාට ඇවිත් තමන්ව මුණගැහෙන්න කියලා වේදිකාවේ හිටපු බැසිල්, පියන් කෙනෙක්ව ලාන්සාගේ ළඟට එවලා දැනුම් දුන්නාලු. ලාන්සා රැස්වීම අවසානේ බැසිල් මුණගැහෙන්න යාලු.

එතැන හිටි වෙනත් අය කීවේ, ලාන්සා සහ බැසිල් අතර කිසිම විරසකයක් නැති බව, ඒ අවස්ථාවේ ඉතා පැහැදිලිව ලාන්සාගේ හැසිරීමෙන් පෙනුණු විත්තිය. මොකද, තවත් ඇමති කෙනෙක් (ජොන්ස්ටන්) එක්ක ගැටුමක් නිසා කේන්තියක් තිබුණාට ලාන්සා හොඳ බැසිල් හිතවාදියෙක් බව පොහොට්ටුවේ අය කියනවාලු. එතැනදී බැසිල් කීවාලු, ලාන්සාට ජනාධිපති එක්ක තමන්ගේ අත්දැකීම් ටික කතා කරන්න කියලා. ජනාධිපතිවරයා කීවාලු පහුවදා (බදාදා) ජනාධිපතිවරයාගේ මිරිහානේ ගෙදරට එන්න කියලා.

කෙසේ වෙතත් මිරිහානේ ගෙදරට ලාන්සා ගියත්, නැවත ලාන්සාට ඇමතිකම ලැබෙන විදියේ එකඟතාවක් ඇවිල්ලා නැහැ.