ඔස්කාර්ස් ගැන රණ්ඩු වෙන්න, වාද විවාද කරන්න මිනිස්සු හරි ආසයි. අරකට ලැබුණ එක හරිද? මේකට ලැබුණ එක වැරදිද? ආදී වශයෙන් නොයෙකුත් සංවාද ඔස්කාර් ගැන ඇති වෙනවා.
දැන් CODA චිත්‍රපටියට හොඳම සිනමාකෘතිය සඳහා සම්මානය ලැබීමත් එවැනි සංවාදයකට හේතු වේවි.
සිනමා ‘පණ්ඩිත්ස්ලා’ දිගින් දිගටම කෝඩා ෆිල්ම් එක සම්මානයට සුදුසුද කියන ප්‍රශ්නය විමසුවා. ඔවුන්ගේ තර්කය වුණේ මේ ෆිල්ම් එක රසවත්, මේකෙන් කතා කරන මාතෘකාව හරි වැදගත්. ඒත්, රසවත් ඩිස්නි මූවි එකක මට්ටමෙන් එහා ඒ චිත්‍රපටියේ බරක් නැහැ කියලා සමහරුන් කීවා. Belfast හෝ Power Of Dog තරම් ඒ ෆිල්ම් එක කලාත්මක ගුණාංගවලින්, සිනමාත්මක විශිෂ්ඨත්වයෙන් ප්‍රබල නෑ කියලා කීවා.
අනෙක් පැත්තෙන් අර ‘බෝරිං’ චිත්‍රපටිවලට කොච්චරවත් බණින අය ‘කම්මැලි ෆිල්ම්’වලට සම්මාන දෙන එකට එරෙහිව තමන්ගෙ අදහස් ඉදිරිපත් කළා. අනෙක් පැත්තෙන් ලොකු ලොකු ප්‍රඩක්ෂන් කම්පැණි ඔය සමහර ෆිල්ම් හදන්නෙම කලාව දියුණු කිරීමේ සැබෑ අරමුණකින් නෙවෙයි. ඒ අරමුණ ඩිරෙක්ටර්ස්ලට, නළුනිළියන්ට සහ අනෙකුත් නිර්මාණකාරයන්ට ඇති. ඒත්, ලොකු ලොකු ප්‍රඩක්ෂන් කම්පැණි බජට් යට කරලා හදන්නේ ඔස්කාර් එකක් තමන්ගෙ කම්පැණියට ලබා ගන්නමයි. ඒවා වෙනුවෙන් වෙනම කැම්පේන් පවා ක්‍රියාත්මක වෙනවා. මෙවර නිර්දේශිත නාම අතරින් බෙල්ෆාස්ට් වගේ ෆිල්ම් පැහැදිලිවම ‘ඔස්කාර් බේට්’ චිත්‍රපටි කියලා ලේබල් වුණ ඒවා.
අන්න ඒ ලේබල් ගැන පෙන්වාදෙමින්, කෝඩා බොහෝ මිනිස්සුන්ට වදින ෆිල්ම් එකක් නිසා ඒකට සම්මානය ලැබිය යුතු බව සමහරුන් කීවා. ඊට අමතරව එහෙම හිතන අයගෙ සපෝට් එක ලැබුණ අනෙක් චිත්‍රපටිය තමයි Don’t Look Up.
අපි පර්සනලි කෝඩා ෆිල්ම් එකට කැමතියි. 2021 අවුරුද්දේ හොඳම ෆිල්ම් ගැන අපි කරපු වීඩියෝ එකක කේන්ද්‍රය වුණේත් ඒ ෆිල්ම් එක. ඒත් අපි අනෙක් පැත්තෙන් හොඳ කලාත්මක චිත්‍රපටියකටත් කැමතියි. අපටත් ටිකක් මන්දගාමී බව දැනෙනවා තමයි. ඒත්, ඒ වගේ ෆිල්ම් එකක් අපේ තර්කනයට, චින්තනයට එකතු කරන බර හරිම වැදගත්. ඒවා හදනකොට ඔස්කාර් ගැනීමේ පටු අරමුණු සමහරුන්ට ඇති. ඒත්, සමහර නිර්මාණවල බර ඇත්තටම ඒක නරඹන ජීවිතයකට දැනෙනවා.
කොහොම නමුත්, අවසාන විග්‍රහයේදී අපි හිතනවා මේ පාර නං කෝඩා ෆිල්ම් එකට ඔස්කාර් දෙන්න තිබුණ බව.
කෝඩා ෆිල්ම් එක නොබැලූ කෙනෙක් ඉන්නවා නම්, ඒකේ මූලික ප්ලොට් එක කන් නෑසීම සහ කතා කිරීමේ නොහැකියාව තියෙන පවුලක, එකම කතා කළ හැකි දරුවාගේ අත්දැකීම. ඒ පවුලේ අම්මා, තාත්තා වගේම අයියාටත් කලින් කී ආබාධ තත්වය තියෙනවා. ඒත් දියණිය හා නැගෙණිය වන නව යොවුන් තරුණියට කතා කරන්න පුළුවන්. ඒ නිසා සංඥා භාෂාවෙන් පවුල එක්ක කතා කරන්නත්, පවුලේ සාමාජිකයන්ගේ පරිවර්තිකාව විදියට බාහිර සමාජය එක්ක කතා කරන්නත් ඇයව පවුලේ අයට ඕනෑ.
ඔය විදියට ආබාධ නිසා වගේම සමාජ තත්වයන් නිසා මේ පවුලට එකට ලොකු අරගලයකට මුහුණදෙන්න සිද්ධවෙලා ඉන්නවා. ඒ අරගලය කරන්න නම්, එළියේ බාහිර සමාජයත් එක්ක කතා කරන්න හැකියාව තියෙන මේ තරුණියට පවුල එක්කම රැඳෙන්න සිද්ධ වෙනවා.
ඇය පවුල එක්ක තරහක් නෑ ඒ නිසා. හරි ආදරණීය පවුලක්. ඇය පවුලට ආදරය නිසාම පෞද්ගලික සතුට හඹා යන්නත් අමාරුයි.
ඒත්, මේ දැරියට විශේෂ හැකියාවක් තියෙනවා. ඇය ගායනයට දක්ෂයි. ඒත්, ඇගේ ගායනය අසන්නට බැරි පවුලක් ඇගේ දක්ෂතාවේ තරම දන්නවාද? ඇයට සපෝට් කරන්නේ කොහොමද? අනෙක ගායනය වෙනුවෙන් ඇය හඹා යන්න හිතන හීන පස්සේ යන්නෙ කොහොමද? තමන්ගෙ උදව් නැතිව වැඩ කරන්න අමාරු පවුලක් අතෑරලා.
මේක තමයි මූලික පදනම. මෙතැනින් එහාට තමයි ෆිල්ම් එක.
කෝඩා චිත්‍රපටියේ අපි ඉතාම කැමති වූ ලක්ෂණය තමයි ඒක කොච්චර අනායාසයෙන් තැනූ චිත්‍රපටියක්ද කියන එක. චිත්‍රපටියේ තිර රචනය, ඒකේ රූප දර්ශන, රඟපෑම් ආදී සියල්ල හරිම අනායාසයෙන් ආපු ඒවා. ඒ කියන්නෙ සෑහෙන මහන්සි වෙලා, මාර ගිමික් දාලා අපට කතාව ගිල්ලවන්න උත්සාහ කරලා නෑ.
චිත්‍රපටියේ හිනහ යන කොටස්, ඒ කියන්නේ කොමඩි කෑලි ඇවිල්ලා තියෙන්නෙත් ඒ විදියෙම අනායාසයකින්. ඒ වගේම හැඟීම්බර, ඇඬෙන විදියේ කොටස් පවා එහෙමයි.
මෙන්න මේ සරල, ආනායාස ගුණය නිසා මහා කලාත්මක බරක් නැති සරල ටීවී මූවි එකක ලෙවල් එකකට මේ ගැන හිතන අයත් ඉන්නවා. එහෙම තමයි, සමහර දේවල් සිම්පල් විදියට පෙනුණාම ඒක වැඩක් නෑ කියලයි හිතන්නේ. මාර සම්භාව්‍ය විදියට තිබුණාම වටිනවා කියලා හිතතවා.
සිම්පල් විදයට කළාට මේ චිත්‍රපටිය හරිම හෘදයංගමයි. අවංකයි.
සැබෑවටම මේ පවුල එක්ක ආශ්‍රය කරන බව හැඟෙනවා.
අනෙක් පැත්තෙන් කතා කරන්න බැරි, සංඥා භාෂාවෙන් පිරිච්ච ෆිල්ම් එකක් මාර නිහඬ, සමහරවිට කම්මැලි එකක් වෙන්න එපායැ. ඇත්තටම කිව්වොත් අපට සංඥා භාෂාවත් තේරෙන්නේ නැති නිසා, සමහර වෙලාවට චිත්‍රපටිය විඳින්න අපට පොඩි බාධාවක් වගේ දැනෙන්න එපායැ. ඒත්! මේ ෆිල්ම් එක හරිම ‘මූවින්’. අපව චිත්‍රපටියට ආසක්ත කරවාගන්න සමත්. රසවත්.
නිහඬතාව ඇතුළෙන් මාර විදියේ හඬක් නගන්න නිර්මාණකරුවන් සමත් වෙලා. අප මේ කියන දේ තේරුම් ගන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෑ. එක් උදාහරණයක් විදියට මේකේ එක දර්ශනයක් තියෙනවා සංඥා භාෂාවෙන් කෙරෙන රණ්ඩුවක්. රණ්ඩු කීවාම අපට පුරුදු මහා සද්දෙන් කෑ ගසා ගන්න, චිත්‍රපටියක නම් ඒ සද්දෙට අමතරව පසුබිම් සංගීතයකුත් එකතුවෙලා මහා ටෙන්ෂන් එකක් තියෙන දෙයක්නේ. හඬත් එක්කනේ ටෙන්ෂන් එක බිල්ඩ් අප් වෙන්නේ.
ඒත්, කෝඩා එකේ මාර නිහඬතාවක් ඇතුළෙන් ඒ රණ්ඩුවේ ඝෝෂාව නිර්මාණය කරලා තියෙනවා. ඒවා හරිම නිර්මාණශීලී, ග්‍රවුන්ඩ්බ්‍රේකින් වැඩ.
ඇත්තටම කීවොත්, බැලූ බැල්මට හිතෙන්නේ කතා කරන්නට බැරි ප්‍රධාන චරිත තුනක් සිනමාව වගේ රූප සහ ශබ්ද පිරිච්ච මාදිලියකට ගෙනාවාම නිර්මාණය පොඩ්ඩක් එක තැනක හිර වෙනවා කියලා. චිත්‍රපටියේ වෛවර්ණ බව අඩු වේවි කියලා. ටිකක් නිහඬතාවකට චිත්‍රපටිය යොමු වේවි කියලා. ඩිරෙක්ටර්ලාට කළ හැකි දේවල්වලට සීමාවක් වැටේවි කියලා. ඒ කියන්නේ ඩයලොග්ස් කතා කිරීම කියන මාදිලිය සෑහෙන දුරට අතෑරලා දැම්මොත්, නැත්නම් සංඥා භාෂාවෙන් කෙරෙන දෙබස් ගොඩක් දාලා ඒකට අදාල සබ්ටයිල්ම බල බලා ඉන්න තැනට ප්‍රේක්ෂකයන් තල්ලු කළොත් චිත්‍රපටියත් ‘ගොළු එකක්’ වේවි කියලා.
ඒත් ඇත්තටම දෙබස් කියන මාදිලිය නැතිව පුදුමාකාර රසවත් බවක් එක්ක කතන්දරේ කියන්නත්, චරිත අතර හැඟීම් හුවමාරු කරන්නත් සිනමාකරුවන් සමත් වෙලා තියෙනවා. ‘ගොළු’ කියලා සාම්ප්‍රදායිකව කතා කිරීමේ හැකියාව නැති අය හැඳින්වුවාට ගොළු කියන්නේ වෙනම එකක් බව චිත්‍රපටිය බැලුවාම හිතෙනවා.
සමහරවිට කතා කරන්න පුළුවන් මිනිස්සුත් ගොළු වෙන්න පුළුවන්. ගොළුයි කියන්නේ ප්‍රකාශනය කරගන්න බැරි වීම වෙන්න පුළුවන්. හඬ තිබුණත්, කන් ඇහුණත් ප්‍රකාශනය දුර්වල නම් ගොළුයි තමා.
කතා කරන්න හඬ නොතිබුණත් මනුස්සයෙක්ට ගොළු නොවී කතා කරන්න පුළුවන්. චිත්‍රපටියකට වුණත් එහෙමයි. ප්‍රධාන චරිත හතරෙන් තුනකට හඬක් නැති වුණත්, චිත්‍රපටිය ශබ්දය වෙනුවට වෙනත් මාදිලිවලින් හරිම පිරිච්ච, ආදරණීය සම්බන්ධතා ටිකක් අප ඉදිරියේ ගෙනහැර පාන්න පුළුවන්.
ඒකට අවශ්‍ය වෙන්නේ දක්ෂ නිර්මාණකරුවන් ටීම් එකක්. කෝඩා චිත්‍රපටිය පිටිපස්සේ ඉන්නේ එහෙම පිරිසක්.
චිත්‍රපටියේ සංගීතය යොදා ගන්න විදිය පවා විශිෂ්ඨයි. අපි කලින් කීවා වගේ බොහෝ තැන්වල නිහඬතාව. ඒත්, අවශ්‍ය තැන්වලදී ඉතාම සරල මියුසික්.
ඔය නිසා අපට නුහුරු විදියේ ලෝකෙක ජීවත්වෙන පවුලක් එක්ක ජීවත් වෙන්න. මිනිස්සු විදියට ඒ අයට හිතින් සමීප වෙන්න, ආදරය කරන්න චිත්‍රපටිය සමත්. අනෙක මේක හුදෙක් වෙනස් වූ හැකියාවන් ඇති පවුලක කතාවක් විතරක් නෙවෙයි. ඕනෑම තරුණයෙක්ට, තරුණියක්ට තමන් ආදරය කරන පවුලෙන් වෙන් වෙලා, හීන හඹා යන්න හිතෙන වෙලාවක් එනවා. වෙන් වෙලා නොගියත්, පවුල එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය ගැටුම ගැන ඕනෑ තරම් ෆිල්ම් හැදිලාත් තියෙනවානේ.
එක් පැත්තකින් මේ ගැටුම ඕනෑ ප්‍රේක්ෂකයෙක්ට හුරුපුරුදු ගැටුමක්. හැබැයි, කලින් ඒ ගැටුම ගැන බලා තියෙන ෆිල්ම්වලට වඩා වෙනස් වූ වෛවර්ණ පැත්තකින් ප්‍රශ්නය දිහා බලන්න සමත් වෙලා තියෙනවා.
සියල්ල අවසන් වෙද්දී, කෝඩා චිත්‍රපටිය ජයගන්න අසීරුයි කියා හිතෙන අභියෝග ගොඩක් ජයගෙන ජනාදරයට පත් වූ චිත්‍රපටියක් නිර්මාණය කළ ඓතිහාසික අවස්ථාවක් වන නිසා, උක්ත සම්මානය ලැබීමට සුදුසුයි කියා අපි හිතනවා.
ඊට වඩා අහවල් එක සුදුසුයි කියා තව කෙනෙක්ට හිතෙනවා නම්, ඒකටත් සාධාරණත්වයක් ඇති. ඒක වෙනම කතාවක්.