පොහොට්ටුවේ මන්ත්‍රීලා 10ක් ස්වාධීන වෙනවාලු! සුසිල්, චන්දිම, ලාන්සා, ප්‍රියදර්ශන, දොළවත්ත ඒ අතරලු!

පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ජයගත් මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව දැනුම්දීමට නියමිතයිලු. අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා.

ඒ අය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙලා මේ ගැන දැනුම් දෙන්න තීන්දු කළාලු.

සුසිල් ප්‍රේම්ජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලාන්සා, ගෙවිදු කුමාරතුංග, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේම්නාත් සී දොළවත්ත ඒ අතර ඉන්නවාලු. රාජ්‍ය ඇමතිවරුන් තුන්දෙනෙකුත් ඒ අතර ඉන්නවාලු.

අරුණ පුවත්පතේ වාර්තාවේ සඳහන් නොවුණාට අපටත් ආරංචි වන විදියට විදුර වික්‍රමනායක ඇතුළු තවත් නායකයන් පිරිසක් ආණ්ඩුවෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව ජීවන් තොණ්ඩමාන් ප්‍රමුඛ ලංකා කම්කරු කොංග්‍රසයත් ආණ්ඩුවෙන් අයින් වෙන්න නියමිත බව ආරංචි තියෙනවා. ඒ කණ්ඩායමේ හතරදෙනෙක් ඉන්නවා.

‘ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක නොකිරීම හා රුපියල පාකර හරිමින් පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් ජනතාවට දරාගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ හැර බලාසිටීමට විරෝධය පළකරමින්’ මේ අය ආණ්ඩුවෙන් ඈත් වෙනවාලු.

මේ පිළිබඳ කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් උගතුන්, බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලුවට ලක්කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ කිසිදා නොවූ බව කීවාලු. ඊට අමතරව පවතින අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට කිසිදු උවමනාවක් නොමැති නිසා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයගත් පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීම සඳහා ජනාධිපතිවරයා මුණ ගැසීමට තීරණය කළ බව කීවාලු.