හිටපු අගමැති රනිල්ට රාජපක්ෂලා දැමූ කොමිසමෙන් චෝදනා පත්‍රයක්!

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පසුගිය රජයේ දූෂණ විරෝධී කමිටුවේ සහ එහි ලේකම් කාර්යාලයේ කටයුතු විමර්ශනය කරන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කරුණු 12කින් සමන්විත චෝදනා පත්‍රයක් නිකුත් කරලාලු.

මේ කොමිසම දාලා තියෙන්නේ, රාජපක්ෂලාට තිබුණ චෝදනා යහපාලනකාරයන් ගෙතූ බොරු කියලා සමාජගත කරන්න. පුලුවන් නම්, ඒ චෝදනා එල්ලකරපු යහපාලන කඳවුරේ අය ගස් යවන්න.

ඒත්, මේ චෝදනාවල ඇත්ත නැත්ත ගැන රටේ මහජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. කොටින්ම රාජපක්ෂලාට ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නෙත් ඔය චෝදනා ගැන දැන දැනමයි.

කොහොම වෙතත් යහපාලන ආණ්ඩු කාලයේ රාජපක්ෂලාව චෝදනාවලින් ආරක්ෂා කරන්න කටයුතු කරපු අය අතර රනිල් වික්‍රමසිංහත් හිටියා. එක්කෝ චෝදනාවලින් රැක්කා. නැත්නම් චෝදනාවලට අනුව ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න පසුබිම හදන්න උනන්දු වුණේ නෑ. විශේෂයෙන් මහා පරිමාණ වංචා දූෂණ විමර්ශන කරන්නට මහාධිකරණයක් ඉක්මනින් හදන්න උනන්දු වුණේවත් නෑ.

ඒ නිසයි රනිල්- රාජපක්ෂ ඩිල් එකක් ගැන බොහෝ අය කියන්නේ. එහෙව් රනිල්ට දේශපාලන පළිගැනීම් චෝදනා එල්ලවීම උත්ප්‍රාසජනකයි.

වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති චෝදනා තුනක් ජාතික විධායක සභාව (NEC), දූෂණ විරෝධී කමිටුව (ACC) සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය (ACS) කියන ආයතන පිහිටුවීමට ආධාර කිරීම සහ අනුබල දීම. ඒවායින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වුණාලු.

අනෙක අපරාධ නඩු විධාන සංග්‍රහය උල්ලංඝනය කරලා එෆ්සීඅයිඩීය හදපු එකලු.

ඊට පස්ස් පුද්ගලයන් 47 දෙනෙකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සදහා විවිධ ආයතතන ඍජුවයි, වක්‍රවයි පාවිච්චි කළා කියන එක රනිල්ට තියෙන තව චෝදනාවක්.

මේ ජනාධිපති කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන අයගෙන් සමන්විතයි.

අපේ විග්‍රහය අනුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට දඬුවම් නොලැබී, ඔවුන්ව දේශපාලන වශයෙන් පණපිටින් තියාගත්තේ රාජපක්ෂලා ඉන්න තාක් කල් දෙමළ, මුස්ලිම් ජනතාව වගේම ජාතිවාදයට සහ පසුගාමී අදහස්වලට එරෙහි පුද්ගලයන් රාජපක්ෂ විරෝධීව තමන්ගේ පැත්තට ඡන්දය පාවිච්චි කරන බව දැන සිටි නිසා. රාජපක්ෂලා පණපිටින් සිටින තාක් කල් මධ්‍යස්ථ මිනිස්සු රාජපක්ෂලාව පරද්දන්න කියා රාජපක්ෂ විරෝධී තමන්ගේ කඳවුර වටේට ගොනු කර ගන්න පුළුවන්.

ඒ කියන්නේ ඉස්ලාම් අන්තවාදය, දෙමළ අන්තවාදය හෝ බටහිර බලවේග ආදී නම්වලින් හඳුන්වන බිල්ලන් රාජපක්ෂලාගේ දේශපාලන පැවැත්මට ඕනෑ. ඒ වගේම රාජපක්ෂ බිල්ලා රනිල්ලාගේ දේශපාලන පැවැත්මට ඕනෑ.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ රාජපක්ෂලාට එරෙහි චෝදනා විභාග කරන ආයතන නිර්මාණය කෙරුණත්, ඒ චෝදනාවලට අදාල නඩු විභාග කරලා සාධාරණ ලෙස යුක්තිය ඉටු කරන අධිකරණමය ආයතන අන්තිම මොහොත දක්වා නිර්මාණය කෙරුණේ නෑ. විමර්ශන කළ අයට අවශ්‍ය සහයෝගය ලැබුණේත් නෑ.

රාජපක්ෂලා රටේ හදපු පසුගාමී දේශපාලනය අහවර කරලා දැමීමේ සැබෑ දේශපාලන වුවමනාවක් රනිල්ලාට තිබුණේ නෑ. ඒ වෙනුවට ඒක දුර්වල කරලා පවත්වාගෙන යන්නයි ඔහුට ඕනෑ වුණේ.

අන්තිමේ රනිල්ලාගේ දේශපාලන සැලසුම් වතුරේ ගියා. රාජපක්ෂලා දින්නා. දැන් රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාන බව කුමන කතන්දර පැතිරුණත් ඔය කියන ජනාධිපති කොමිෂන් වාර්තාවක් අරන්, නඩු දාලා රනිල්ට කෙළවන්න පුළුවන් නම් ඒකත් කරන්න රාජපක්ෂ ආණ්ඩුව පසුබට නොවේවි කියන එක තමා අපේ විග්‍රහය.