රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස් වූ නිමල් ලාන්සා තමන්ගේ ප්‍රශ්නය කියන්නට මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ ගෙදරටම ගිය නමුත්, ඇමතිකම ගැන එකඟතාවකට එන්න බැරි වූ බව සන්ඩේ ටයිම්ස් ලියා තියෙනවා.
මාර්ග සංවර්ධන විෂයක් භාරව සිටි නිමල් ලාන්සාට තිබුණ ලොකුම ප්‍රශ්නය විෂය භාර කැබිනට් ඇමති ජොන්ස්ටන් යටතේ, ඔහුට කැමති විදියට වැඩ කරන්න සිදු වීම. ජොනී කියන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැරුණාම පොහොට්ටුවේ සිටින බලවත්ම පුද්ගලයා.
කොටින්ම කිව්වොත් පහුගිය සතියේ අඟහරුවාදා අරලියගහ මන්දිරයේ තිබුණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ප්‍රධාන වේදිකාවේ රාජපක්ෂ තුන්කට්ටුව සහ පොහොට්ටු සභාපති ජීඑල් හැරුණාම හිටපු අනෙක් පුද්ගලයා ජොන්ස්ටන් ප්‍රනාන්දුලු.
කෙසේ වෙතත් ඒ සාකච්ඡාවේදී ලාන්සාගේ ප්‍රශ්නය ගැන බැසිල් රාජපක්ෂ වෙනම සොයා බැලුවාලු.
සාකච්ඡාව අතරතුරේනිමල් ලාන්සාට ඇවිත් තමන්ව මුණගැහෙන්න කියලා වේදිකාවේ හිටපු බැසිල්, පියන් කෙනෙක්ව ලාන්සාගේ ළඟට එවලා දැනුම් දුන්නාලු. ලාන්සා රැස්වීම අවසානේ බැසිල් මුණගැහෙන්න ගියාලු.
එතැන හිටි වෙනත් අය කීවේ, ලාන්සා සහ බැසිල් අතර කිසිම විරසකයක් නැති බව, ඒ අවස්ථාවේ ඉතා පැහැදිලිව ලාන්සාගේ හැසිරීමෙන් පෙනුණු විත්තිය. මොකද, තවත් ඇමති කෙනෙක් (ජොන්ස්ටන්) එක්ක ගැටුමක් නිසා කේන්තියක් තිබුණාට ලාන්සා හොඳ බැසිල් හිතවාදියෙක් බව පොහොට්ටුවේ අය කියනවාලු. එතැනදී බැසිල් කීවාලු, ලාන්සාට ජනාධිපති එක්ක තමන්ගේ අත්දැකීම් ටික කතා කරන්න කියලා. ජනාධිපතිවරයා කීවාලු පහුවදා (බදාදා) ජනාධිපතිවරයාගේ මිරිහානේ ගෙදරට එන්න කියලා.
කෙසේ වෙතත් මිරිහානේ ගෙදරට ලාන්සා ගියත්, නැවත ලාන්සාට ඇමතිකම ලැබෙන විදියේ එකඟතාවක් ඇති වෙලා නැහැ.
මෙතැනක තියෙන්නේ බලය පිළිබඳ කාරණාවක්. ලාන්සාට වඩා ජොනී බලවත්. ඒ වෛරයට රාජපක්ෂලා එක්ක දික්කසාද වෙලා හෘදය සාක්ෂියයි, පාස්කු ප්‍රහාරයයි, ආර්ථික අර්බුදෙයි අඹරලා තර්ක ටිකකුත් හදාගෙන අලුත් තැනකින් දේශපාලනය පටන් ගන්න ලාන්සාට සිද්ධ වේවි.
ලාන්සා සාර්ථක ‘බිස්නස්’ එකක් කරගෙන හිටපු කෙනෙක්ලුනේ. බිස්නස් එක මොකක්ද කියා විවිධ අය විවිධ කතා කියනවා. ඉතින් ඒ බිස්නස් එක හොඳටම කර කර හිටපු කාලේ ලාන්සාගේ ආරක්ෂාවට වතාවක් මහින්ද රාජපක්ෂම ඔහුගේ ගෙදරට ගියාලුනේ. ඉතින්, බිස්නස් එකම කරගෙන ඉන්නේ නැතිව, දේශපාලනේට ආවාම ලාන්සාට මේ වගේ ‘හිත් රිදීම්වලට’ මුහුණදෙන්න සිද්ධ වෙනවා.
පහත ඡායාරූපවල ලාන්සා සහ ජොන්ස්ටන් සිටින ස්ථාන, ඔවුන් රාජපක්ෂලාට ළං වෙන විදිය බලන්න. රූපවලින්ම කතාව කියැවෙනවා.




