අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් මාස දෙකකින්!

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මාස දෙකකින් අවසන් කරන්න නියමිත බවත්, දෙමළ ජාතික සන්ධානය එක්ක ඒ කෙටුම්පත ගැන තවත් සාකච්ඡාවක් කරන්න නියමිත බවත් සන්ඩේ මෝනිං වාර්තා කරලා තියෙනවා.

ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කරගන්න තියා, ඉස්සරහට සාමාන්‍ය අයවැයක් සම්මත කරගන්නවත් පුළුවන් තත්වයක් දැන් නැහැ. ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමතවිචාරණයක් දිනන්න ඕනෑ. ව්‍යවස්ථාව හැමෝම එකඟ වෙන ප්‍රගතිශීලී එකක් වුණොත් වෙනම කතාවක්. ඒත්, ආණ්ඩුව හොරෙන් කමිටු දාලා දොරවල් වහගෙන කෙටුම්පත් කරන ව්‍යවස්ථාවක් ප්‍රගතිශීලී වේවි කියා හිතන්නේ කොහොමද?

ලෝකෙ යම් රටක් මේ විදියට හොරෙන් ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම දේශපාලන විද්‍යාවේ සවුත්තුම වැඩක් විදියටයි සලකන්නේ. ලංකාවෙ ඉතිහාසයේ 1978 ව්‍යවස්ථාවත් ඔය විදියට තනියෙං හැදූ එකක්. සම්මත වෙච්ච දවසෙ ඉඳන් අද දක්වා ප්‍රශ්න අමුතුවෙන් විස්තර කරන්න එකක්යැ?

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් සමඟ පසුගිය සිකුරාදා (25) පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ව්‍යවස්ථාව ගැන ඇහුවම කීවාලු, රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාවේ අවසන් කෙටුම්පත දැන් පරිවර්තනය වෙමින් තියෙන බව. කෙටුම්පත මාස දෙකකින් අවසන් වෙනවාලු.

මේ බව ජනාධිපතිවරයා කියා තිබුණේ, දෙමළ ජනතාව දිගින් දිගටම ඉල්ලන දේශපාලන විසඳුම ගැන දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විමසද්දී.