මං අස්වෙන්නෑ! මහින්ද කියයි මහින්ද අස්වෙන කතාව පැතිරුවේ ජලනි ගිය පාටිය යටගහන්නද?

තමන් අගමැති ධුරයෙන් අස්වෙන බවට සමාජ මාධ්‍යවල පැතිරෙන කතාව බොරුවක් බව මහින්ද රාජපක්ෂ මහතා දිවයින පත්තරේ නෝමන් පලිහවඩන කරපු විමසීමකදී කියා තියෙනවා.

ඒ ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා මහින්ද කීවාලු.

මේ මොහොතේ අගමැතිකම වෙනත් කෙනෙක්ට පවරන්න තමන්ට කිසිම වුවමනාවක් නෑ කියලා මහින්ද කීවාලු. විවිධ කතා මේ කාලෙ පැතිරෙන්න ඉඩ තියෙන නමුත්, ඒවා බොරු කතා බව ඔහු කීවාලු.

මහින්ද රාජපක්ෂ වැනි බලලෝභීන් තව තවත් බලය ගොඩගසාගැනීම මිසක් ඒක අඩු කර ගන්න හිතන්නේ නැහැ. 18 වැනි සංශෝධනයක් ගෙනල්ලා ජීවිතාන්තය දක්වා ජනාධිපති වෙන්න හිතූ මහින්ද, තමන්ව රජෙක්ට අන්දවාගත්ත මහින්ද එකතැන් වුණොත්, ජීවිතය නැති වුණොත් හෝ මිනිස්සු එළවා දැම්මොත් මිස කැමැත්තෙන් බලය අත්හරින්නට කිසි ඉඩක් නෑ.

2015 ජනධිපතිවරණය පරාජය වෙන අස්සේ, ජනවාරි 09 වැනිදා පාන්දර හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගන්න රාජපක්ෂලා සැලසුම් කරපු බව ප්‍රකට කතාවක්. ඒ උත්සාහය වැළකුණේ එදා නිලධාරීන් ඒක ප්‍රතික්ෂේප කරපු නිසයි. ඉතින්! එහෙම රාජපක්ෂලා ඉල්ලා අස්වෙන්න නම් දරුණු හේතුවක් තියෙන්න එපායැ.

මහින්ද රාජපක්ෂ අලුත් අවුරුද්දෙන් පස්සේ අස්වෙන බවත්, අලුත් අගමැති කෙනෙක්ට කෑම උයන්න ලෑස්තිවෙන්න කියා මහින්ද අරලියගහමන්දිරේ කුස්සියේ උයන අයට කියපු බවත් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල විපක්ෂෙට හිතවත් අය හුවමාරු කරගත්තා. අපි මීට කලින් බ්ලොග් පෝස්ට් එකකින් ඒ ගොසිප් එක බෙදා ගත්තා. ඒත්, ඒ අතරේම අපි මතක් කළා මේක බොරුවක් විය හැකි බව.

මේ ගොසිප් එක හුවමාරු වුණේ ජලනි ප්‍රේමදාස හිල්ටන් එකේ පාටියක ඉන්න ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරු වෙන අස්සේමයි. ඕනෑ දේශපාලන කඳවුරක් තමන්ට අවාසිදායක පුවතක් පැතිරෙද්දී, ඊට වඩා නැගලා යන පුවතක් පතුරුවාහැරීම කාලයක් තිස්සේ පාවිච්චි වුණ ‘ප්‍රොපගැන්ඩා’ උපක්‍රමයක්. නිව්ස් ප්ලාන්ට් කරනවා කියන්නේ ඒකට.