ගෝඨාට බණින, උද්ඝෝෂණ කරන අයට අනූෂාගෙන් දොස්! ‘ඕවා නෙවෙයි කරන්න ඕනෑ’ කළ යුතු දේ අනූෂා කියාදෙයි!

දැන් උද්ඝෝෂණ කිරීම සහ ජනාධිපතිවරයාට විවේචන එල්ල කිරීම දැන් සිදු නොකළ යුතු බවත්, මේ අර්බුදය ජාත්‍යන්තර මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් අදහස් කරමින් රංගන ශිල්පිනී අනූෂා දමයන්ති ප්‍රකාශයක් කරලා.

ඒ ප්‍රකාශයෙන් පෙනෙන්නේ තවමත් ආණ්ඩුවේ ආරක්ෂාවට ඉදිරිපත් වෙන්නට තමන් සූදානම් බව.

ඒ ප්‍රකාශයේදී ඇය කියා තිබුණේ වත්මන් ආර්ථික අර්බුදය වසංගතය සහ ලෝක යුද්ධ බවත්, ලංකාවේ දුර්වල තැන අල්ලාගෙන අපව වැට්ටවීම උදෙසා වූ ජාත්‍යන්තර ‘විෂන් එකක’ ප්‍රතිඵලයක් බවත්.

මාර්තු 27 ඉරිදා ලංකාදීපය වත්මන් ආණ්ඩුවට සහයෝගය දුන් කලාකරුවන් සහ කලාකාරිනියන් කිහිපදෙනෙකුගේ අදහස් ඇතුළත් පිටුවක ලිපියක් පළ කර තිබුණා.

අනූෂා දමයන්තිගේ ප්‍රකාශයෙන් පහත කොටස වැදගත්.

‘මේ ටිකේ මගේ වීඩියෝ දාලා ඇට්ටි හැලෙන්න දෙනවා. මම විතරක් නෙවෙයි අපි හැමෝම හිතුව දෙයක් නෙවෙයිනේ මේ වුණේ. මේක ජනාධිපතිතුමාගේම වරදක් නෙවෙයි. මේක එදා මෙදා ආණ්ඩුවල කරපු වරදවල්වල එකක් තමයි අපි මේ භුක්ති විඳින්නේ කියලා මට නම් දැනෙන්නේ. මෙතුමා ඇත්තටම ගත්තේ මොකුත්ම නැති ආණ්ඩුවක්. බලමු ඉතිං මොකක්ද වෙන්නේ කියලා.’

අනූෂා ‘උදඝෝෂණ වැඩක් නෑ’ කියන තැනටත් තල්ලු වීම අදටත් ආණ්ඩුව රකින්න ඇයට තියෙන වුවමනාව පෙන්වනවා.

‘කොරෝනා ප්‍රශ්නය ආවා. පිටරට යුද්ධ ආවා. මේ හැම එකක්ම මේ තත්වයට බලපෑවා නේද? උද්ඝෝෂණ විරෝධතා වැඩක් නෑ. මේකට උත්තරය හොයාගන්නයි ඕනෑ.’

අනූෂා නොකියන කෑල්ල තමයි මේ වෙලාවේ උද්ඝෝෂණ, විරෝධතා පවත්වලා මේ ආණ්ඩුව ගෙදර යවන එක හැර වෙන උත්තර නැති විත්තිය. අනෙක පහුගිය කාලයක් තිස්සේ විද්වතුන්, විපක්ෂයේ අය සහ නොයෙකුත් අය දුන්න උත්තරවලට උද්දච්ච ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැති බව.

‘මේ ජනාධිපතිතුමාට ගහන එක නෙවෙයි සිදුවිය යුත්තේ.’ යනුවෙනුත් අනූෂා කියා තිබුණා.

ඒ විතරක් නෙවෙයි, අනූෂාලාගේ පටු ලෝක දැක්මෙන් එන කුමන්ත්‍රණ න්‍යායන් පවා ඉවර නැහැ. ඇය කතාව ඉවර කරලා තිබුණේ මේක ලෝකය පුරා ‘විෂන් එකක්’ මත අපේ රට අල්ලාගැනීමක් බව. ඒ කියන්නේ රට දුර්වල කරලා, අපේ රට වට්ටලා අපව අල්ලාගත් බව ඇය කියනවා.

ඒ ‘ඔවුන්ට ඕන දේ’ අපේ රටේ කරගන්නලු.

‘ඔවුන්’ කවුද කියා අනූෂා කියන්නේ නෑ. ඒත්, ඇය දිගින් දිගටම ‘සිංහයන්’ ගැන කියමින්, අදෘෂ්‍යමාන ජාත්‍යන්තර බලවේගයකට එරෙහි සටනක් ගැන තමයි කතා කළේ. ඒ සටන වෙනුවන් තමයි ගෝඨාභයව ගෙනැල්ලා රට මෙතැනට ඇදලා දැම්මේ. අපි නොදන්න අදෘෂ්‍යමාන බලවේගයක් එක්ක ඇය කරපු සටන තවම ඇය අත්හැරලා නෑ වගෙයි. ඊළඟට මොකෙක් ගේන්න ඇය පාරට බහීවිද?