සතොසෙන් හාල්, පරිප්පු අත්‍යවශ්‍ය කෑම ගනිද්දී සීමා දාලා!

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට පාලන අධිකාරිය විසින් චක්‍රලේකණයක් මගින් උපදෙස් ලබා දුන් බව හැටන් රංජිත් රාජපක්ෂ වාර්තා කරලා තියෙනවා.

ඔහු වාර්තා කරලා තිබුණු විදියට ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110  මිලකට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න පියවර ගන්නවාලු.

සිනි කිලෝවක් රු 160 මිලකටත්, පරිප්පු කිලෝවක් රු 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කරන අතර , පාරිභෝගිකයන්ට සිනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රැම් 500 ලබාදෙන ලෙස උපදෙස් දීලාලු.

ඒ අතර සතොස ශාඛාවල තිරිගු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට නැති බව පාරිභෝගිකයක් කියනවාලු.

මීට කලින් හැත්තෑ ගණන්වල තිබුණ දරුණු ආහාර හිඟයකටත් ආහාර සලාක විදියට සීමා දාලා බෙදීම හේතු වුණා. කෑම බීම වර්ග ගනිද්දී එක්කෙනෙක්ට ගන්න පුළුවන් සීමාවක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව එදාට බෙදන්නේ කිරමීන් කරවල නම් එදාට ඒවා කන්නත්, අනෙක් දවසේ බෙදන්නේ හාල්මැස්සන් නම් ඒවා කන්නත් සිද්ධ වුණා.

ඒත් ඒ අතරේ ආණ්ඩුවෙන් බෙදන කෑම බීම වංචා කරපු, ආහාර සැපයීම්වලදී අයුතු ලාභ උපයපු අය හිටියා. ඒ වගේම ඔය සලාකවලින් තියෙන සීමාවලට පිටින් ගිහින් තමන්ගෙ හිතෙත් හැටියට කන්න බොන්න බලවතුන්ට ඉඩ ලැබුණා. දුප්පතාට තමයි සීමා තිබුණේ.

‘විවෘත ආර්ථිකය’ හෝ ‘නිදහස් වෙළඳපොළ’ කියලා හැත්තෑඅටේදී නව ආර්ථික ක්‍රමයක් හඳුන්වාදෙන්න මුල් වුණේත් ඔය පීඩානයට එරෙහිව ජනතාව නැගිට්ට නිසා.

අද හාල් පොත් හෝ වෙනත් සලාක ක්‍රමයක් නිල වශයෙන් ක්‍රියාත්මක කරලා නෑ.

ඒත් අසීමිත විදියට කෑම මිල ගණන් ඉහළ යද්දී ආණ්ඩුව කියන්නේ ‘අපි සතොසෙන් අහවල් මිලට විකුණනවා’ කියලා. එහෙම වෙද්දී, අඩු මිලට කෑම ගන්න පොඩි මිනිහාට ආණ්ඩුවේ කඩවලට යන්න වෙනවා. ඒවා විකුණන්නේ සීමා දාලා නම්, නැවත පොඩි මිනිහාට සලාක ක්‍රමයක් එනවා. පාරිභෝගිකයන් හැමෝටම ඇති වෙන තරම් ආණ්ඩුවේ කඩ නැති නිසා පෝළමේ ඉන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම සමහර භාණ්ඩ විකුණන්නට නැති නම්, එයාලා විකුණන එක කන්නත් සිද්ධ වෙනවා.