මිනිස්සු පෝළිම්වල දුකෙන්, සජිත්ගෙ බිරිඳයි, නංගියි නිරූපමා එක්ක කොක්ටේල් පාටියකට ගිය එක ගැන සමාව ඉල්ලාවිද?

සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දුලාංජලී ප්‍රේමදාස එක්ක කුප්‍රකට පැන්ඩෝරා මැඩම් නිරූපමා රාජපක්ෂ කොළඹ හිල්ටන් හෝටලේ කොක්ටේල් පාටි එකකට සහභාගී වෙලා ඉන්න හැටි ඡායාරූපවලින් දකින්න ලැබුණා.

ඇත්තටම මුලින්ම නිරූපමා රාජපක්ෂ ඒ පාටි එකේ ඉන්න ඡායාරූප ටිකක් තමයි හුවමාරු වෙන්න ගත්තේ. ඒ්ත්, ඒ එක්කම ඒ කොක්ටේල් පාටියේම ජලනි ප්‍රේමදාසත් එන්න බව ඡායාරූපවල දකින්න ලැබුණා.

ඊට අමතරව රෝසි සේනානායකත් මෙතැන හිටියා. ඊට අමතරව වියත් මගේ ඉහළ පෙළේ සාමාජිකාවක් වූ, දැන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි චම්පා දිල්හාරා අමරසේකර වගේ අයත් එතැන හිටියා. අපි හරියට නොදන්නා නමුත්, විවිධාකාර බලවතුන්ගේ බිරින්දෑවරුන් සහ පවුලේ අය ඔතැන ඉන්න ඇති.

‘එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි’ කියන රන්ජන්ගේ කියමන තහවුරු කරන පාටියක් මේක.

දිලිත් ජයවීරගේ පල්ස් ෆේස්බුක් පිටුවේ මාර්තු 24 වැනිදා දාපු ඡායාරූප 93ක ඇල්බම් එකක තමයි මේ පාටි එකේ ඡායාරූප තිබුණේ.

බැලූ බැල්මට නිරූපමා සහ ප්‍රේමදාස පවුලේ අය එකට කතාබහ කරන හැටි ඡායාරූපවල නෑ. ඒත් ඉතින්, එකම පාටියට මේ හැමෝම යන එක හුදෙක් අහම්බයකුත් නෙවෙයි.

එතකොට ඇත්තටම නිරූපමා රාජපක්ෂලාගේ මහා ධනස්කන්ධය ගැන පරීක්ෂණ යන්න ඕනෑ වෙලාවක, ඇය ආතල් එකේ පාටිවලට සහභාගී වෙන හැටි ප්‍රශ්නයක්.

මීට සති කිහිපයකට කලින් මව්බිම පත්තරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අහලා තිබුණා බදු හරිහැටි නොගෙවා මහා ධනස්කන්ධයක් පිටරට ඇදලා අතටම මාට්ටුවෙච්ච නිරූපමා රාජපක්ෂ ගැන විමර්ශනයක් ගියාද කියලා. මොකද, ඇමෙරිකාවෙ සහ ඉන්දියාවෙ වගේ රටවල වුණත් බදු නොගෙවා පැහැරහරින අය වටලලා, දේපළ රාජසන්තක කරලා මාර මෙහෙයුම් ආදායම් බදු අයකරන දෙපාර්තමේන්තු කරන හැටි අපි ෆිල්ම්වලින් පවා දැකලා තියෙනවා.

ඒත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කිසි පරීක්ෂණයක් නැති බව මව්බිම හෙළි කළා. උඹලා සල්ලි ගොඩගහලා, අතටම මාට්ටු වුණත් අවුලක් නෑ පුරවැසියනි. අපි කරන ලබ්බක් නෑ කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්නුවා.

අනෙක් පැත්තෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණයත් මාර ස්ලෝ. අනිද්දා පත්තරය විමසීමක් කළාම අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා කීවාලු නිරූපමා රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගත්ත බව. ඒ පරීක්ෂණය පරක්කු ඇයිද කියා ඇහුවාම කීවාලු මේකට අදාල එක එක ලියකියවිලි ආයතනවලින් ඉල්ලලා තියෙනවා, ඒවා ලැබෙන්න පරක්කුයි කියලා. නොකෙරෙන වැඩේට හේතු කියනවා.

මීට කලින් නිරූපමා අල්ලස් කොමිසමට නොගිහින් මඟහැරලා තිබුණේ අසනීපයි කියලා.

ඒත්, මේ පල්ස් එකෙන් දාපු ෆොටෝවලට ඇය පෝස් කරලා තියෙන විදියෙන් නම් කිසි අසනීපයක් පෙනෙන්නේ නෑ.

නිරූපමාගේ කතාව එහෙම තියෙද්දී, මිනිස්සුන්ගෙ දුක ගැන කොච්චරවත් කතා කරන, ගිය සතියේ ප්‍රොටෙස්ට් එකකුත් ලෑස්ති කරපු සජිත් ප්‍රේමදාසගේ බිරිඳයි සහෝදරියයි කොක්ටේල් පාටියක ඉන්න හැටිත් දකින්න හිරිකිතයි.

මොකද, මීට සතියකට කලින් තමයි සජිත් පාක්ෂිකයන් නාමල් රාජපක්ෂ මාලදිවයිනේ ජල ක්‍රීඩා කරන විදිය ගැන විවේචන එල්ල කළේ.

ඇත්තටම මේ වගේ සැමරීම් මහා ලොකු ඒවාත් නෙවෙයි. අපිත් ඕකට කලින් දවසේ හිල්ටන් එකට ගියා සම්මාන උළෙලකට. හැබැයි ඉතින්, අපි ගිය එක කොක්ටේල් පාටියක් හෝ ලොකු ආහාර තිබ්බ වැඩක් නෙවෙයි. හිල්ටන් එකේ පොඩි ශාලාවක සම්මාන ටික ප්‍රදානය කරලා, තේ එකක් බීලා ආපු එක විතරයි අපි කළේ. අපි වගේ පොඩි කෙනෙක් වුණත් මේ වගේ ටයිම් පීරියඩ් එකක යම්කිසි සීමාවකින් එහාට ගිය උත්කර්ෂවත් සාදවලට යන්නේ නෑ. ගියත්, අසංවේදී විදියට ඒවායේ ඡායාරූපවලට පෝස් කරන්නේත් නෑ. සමාජ මාධ්‍යවල ඒවා කොහොමත් දාන්නේ නෑ.

මේ වගේ කාලෙක වුණත් ලොකු මිනිහාගෙ ඉඳන් පොඩි මිනිහා දක්වා තම තමන්ගෙ තත්වයෙ හැටියට සාදයක් දාන එක, කන බොන එක කරනවා තමයි. ඒ සියල්ල නැතිව මිනිස්සු දුකෙන් කියලා පැත්තක් බලාගෙන කම්මුලේ අත තියං ඉන්න කියලා කියන්න බැහැ.

ඒත්, මේ කාලෙ ටිකක් පර්සනල් ලෙවල් එකෙන් ඔය කරගන්න එකක් කරලා, ප්‍රසිද්ධ තැනකට ඕවා අරන් නොඑන්න තරම් බුද්ධි මට්ටමක් තියෙන්න ඕනෑ. ඒ වගේම හිතේ සැහැල්ලුව ඇති කරගන්නට කරන දෙයක් වුණත්, අනවශ්‍ය උත්කර්ෂයක් නැතිව කරන්න දැනගන්න ඕනෑ.

මෙතැන තියෙන්නේ වගකීම් සහගත දේශපාලන පවුලක සාමාජිකාවන් මෙහෙම සාදයක ඉන්න ඡායාරූප හුවමාරු වෙද්දී, ඒකෙන් මිනිස්සුන්ට යන පණිවිඩය ගැන ප්‍රශ්නයක්. අන්න ඒ නිසා අපි නිරූපමාටත් වඩා ජලනි සහ දුලාංජලී පාටියේ ඉන්න එක සීරියස් ගන්න ඕනෑ.

එතකොට අර සජිත් ගිය සතියේ මහා සෙනඟක් ඉස්සරහා අත වන වනා, මිනිස්සුන්ගෙ දුක ගැන කතා කළේ අවංකවද? අවංකව ඒ දුක ගැන ඔහු සැලකිලිමත්ද? සංවේදීද?

මේ වගේම කොවිඩ් සීමා පවතින කාලෙක පාටි දැම්මා කියලා එංගලන්තෙ බොරිස් ජොන්සන් ආණ්ඩුවට රටේ පුරවැසියන්ගෙන් ලොකු පීඩනයක් එල්ල වුණා. බොරිස් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තැනට පත් වුණා.

අද ලංකාවේ මිනිස්සු මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අමාරුවෙන් ඉන්න වෙලාවක මෙවැනි සාදයකට සහභාගී වීමත් ඊට දෙවැනි නෑ.

ඒත්, නාමල්ගේ ජල ක්‍රීඩා වගේම, ජලනිගේ කොක්ටේල් පාටිවලිනුත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන දරුණු අසංවේදීකමක් පේනවා.

දැන් කරන්න තියෙන එකම දේ තමයි මේක ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින එක.

දුලාංජලී ප්‍රේමදාස
ජලනි ප්‍රේමදාස (දකුණේ)
නිරූපමා රාජපක්ෂ
රෝසි සේනානායක