මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය බැංකුවක් ‘ඩිෆොල්ට් වෙලා’ කියලා ආරංචියක් ලැබුණ බවක් කීවා. ඒ අතරේ සෝෂල් මීඩියාවල මහජන බැංකුව වැටුණා කියලා ලොකු ප්‍රචාරයක් ගියා. ආණ්ඩුවෙන් ඒකට උත්තර දෙන්නත් දැඟලුවා.
අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඇත්තටම මහජන බැංකුව වැටිලාද? වැටේවිද? නැත්නම් හර්ෂ කිවේ මොකක්ද කියන කාරණාව ගැන. හර්ෂ බැංකුවක් ගැන බය පතුරුවලා වැරැද්දක් කළාද? අපි හිතන විදියට බොහෝ දෙනෙක් හර්ෂ කී දේ හරියට තේරුම් ගත්තේ නෑ.
ඔය අතරේ ජවිපෙ හිතවාදින් සහ සජබ අතර තියෙන සීතල යුද්ධය හින්දා හර්ෂට බැණලා සෑහෙන පෝස්ට් ආණ්ඩු හිතවාදීන්ගෙන් වගේම ආණ්ඩු විරෝධීන්ගෙනුත් එල්ල වුණා. ඒකට පදනම් වුණේ මේ වගේ කතාවක් කීවාම මිනිස්සු පෝළිමේ ගිහින් රාජ්‍ය බැංකුවලින් සල්ලි අයින් කරන්න ඉඩ තියෙනවා, බැංකු ගැන බය නිසා ගනුදෙනු දුර්වල වෙන්න ඉඩ තියෙනවා, එහෙම වුණොත් බැංකු කඩාවැටිලා දරුණු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා හර්ෂ කරපු දේ භයානකයි, ඒකේ භයානකකම හර්ෂ හොඳටම දන්නවා කියලා තමයි කට්ටිය හර්ෂට බැන්නේ.
සාමාන්‍යයෙන් ජවිපෙ හිතවාදීන් සෑහෙන දුරට හර්ෂ වගේ අයට ඇටෑක් කරන්න පුළුවන් නං ඒ චාන්ස් එක ගන්නවා. මොකද, ගොඩක් අයට මේක තමන් කැමති පැත්ත කොහොමහරි දිනවන්න කරන කැම්පේන් එකක්. ඇත්ත අර්බුදයක් විසඳාගන්නට උත්සාහයක් නෙවෙයි. ඒ නිසා එයාලා හැම වෙලාවෙම බලන්නෙ තමන්ට හිතවත් පාර්ශ්වයේ කණ්ණාඩියෙන්. අපි කිසිම පැත්තක නොඉන්නේ ඒකයි. කාවවත් ප්‍රමෝට් කිරීම හෝ කාටවත් ඇටෑක් කිරීම අපේ රාජකාරිය නෙවෙයි. අවශ්‍ය වෙලාවට ඇටෑක් කිරීමත්, ප්‍රමෝට් කිරීමත් අපි කරනවා.
මුලින්ම මහජන බැංකුව හෝ වෙන රාජ්‍ය බැංකුවක් වැටෙන කතාව ගැන ගමු. ඔබ දන්නවා නිවාස සංවර්ධන අධිකාරියට සම්බන්ධ බැංකුවේ ඉඳන් එන්එස්බී එකේ ඉඳන් රජයේ බැංකු ලෙස හැඳින්විය හැකි කිහිපයක් තියෙන විත්තිය. ඒත්, ප්‍රධාන වශයෙන් අපි රාජ්‍ය බැංකු කියනවා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට. මේ වෙලාවේ හතිදාන රටේ ආර්ථිකය ඇදගෙන යන්න පුදුමාකාර මහන්සියක් ඔය බැංකු දෙක දරන බව කියන්නම ඕනෑ. මේ වෙලාවේ අත්‍යවශ්‍ය කෑම, බෙහෙත්, ඉන්ධන ආදී භාණ්ඩ ඔය ගේන ටික ගෙන්වන්නෙත් රාජ්‍ය බැංකුවල කාර්යභාරය නිසයි.
හදිසියේවත් බැංකුවලට මිනිස්සු යන්නේ නැති වෙලා, විශ්වාසය අහිමිවෙලා ඔය බැංකු දුර්වල වුණොත් මිනිස්සුන්ට මීටත් එහා ගිහින් කන්න නැති, බෙහෙත් නැති දරුණු සාගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි මෙතෙක් නොවැටුණු තරම් කඩා වැටීමකට ලක් වෙන්න පුලුවන්.
ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වගේම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ නිවේදන නිකුත් කරමින් රාජ්‍ය බැංකුවක් කඩා වැටිලා කියන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරලා තිබුණා.
මහජන බැංකු ලොක්කා සුජීව රාජපක්ෂ කියා තිබුණා ඩොලර් හිඟය නිසා ණයවර ලිපි හෙවත් එල්සී දෙකතුනකට අදාල ගෙවීම් කරන්න බැරි වුණ බව. ඒවාට අදාල ඩොලර් ප්‍රමාණය මහ බැංකුව දෙන බවත් ඔහු කියා තිබුණා.
මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඒකාබද්ධ නිවේදනයේ තිබුණා බැංකු පද්ධතිය ස්ථාවරයි කියලා සහතික වෙන විත්තිය.
මීට කලින් ලංකා බැංකු සේවක සංගමය රජයේ බැංකු දෙක කියලා හඳුන්වන ලංකා බැංකුවයි, මහජන බැංකුවයි දිගින් දිගටම ඩොලර් අර්බුදය නිසා අවදානම් තැනක තියෙන බව පෙන්වාදෙමින් නිවේදනයක් නිකුත් කරලා තිබුණා.
කෙසේ වෙතත් මේ ගැන ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපලේකම් කේසර කෝට්ටේගොඩ අපේ මිත්‍රයා ලියපු සටහනකින් මේ තත්වය ගැන යමක් කියමු.
‘සමස්තයක් ලෙස රජය මුහුනදී ඇති විදේශ විණිමය අර්භුදයේදී ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖශධ, ඉන්දන ආනයනය කිරීම සඳහා ප්‍රධාන රාජ්‍ය බැංකු ද්විත්වය දැවැන්ත කාර්‍යභාරයක් නිහඬවම ඉටුකරමින් ඇත.
එලෙස අත්‍යාවශ්‍ය භාන්ඩ මෙරටට ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දීතිබූ ණයවර ලිපි ( Letter of Credit- LC) කිහිපයකට ( 3 කට )අදාල ගෙවීම් ප්‍රමාද වීම හර්ශද සිල්වාගේ මෙම ප්‍රකාශයට හේතු වීඇත. නමුත් අද වන විට එම ණය වර ලිපි ( LC) වලට අදාල සියලු ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය විදේශ මුදල් මහ බැංකුව විසින් නිකුත්කර ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සිදුකල ප්‍රකාශයත්, සමාජ මාද්‍යයේ මහජන බැංකුවේ නම ඈඳමින් සිදුකෙරෙන ප්‍රවෘතිත් නිසා බැංකු පද්ධතිය විශාල ගැටලුවකට පත් වනුඇත.
මෙරට ප්‍රධන වාණිජ බැංකු දෙකම පවතින්නේ රාජ්‍ය භාරයේය.මේ බැංකු දෙකට යම් ගැටලුවක් ඇති වුවහොත්
1) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා නොමැතිව මහපාරේ ජනතාව මියයන තත්වයක් පවා ඇතිවිය හැකිය.
2) අනෙකුත් බැංකුද කඩා වැටී සමස්ත බැංකු පද්ධතියම අනතුරට පත්වී රාජ්‍ය මූල්‍ය යාන්ත්‍රණයම අකර්මන්‍ය වනු ඇත.
ඉහත කී අවදානම් ගැන දැඩි අවධානය යොමුකර වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදුකිරීම ජනතා හිතකාමී සියලු දේශපාලකයින්ගේ මේ මොහොතේ වගකීම වන්නේය.
බොරදියේ මාළු බෑම තම් තමාගේ දේශපාලන අනාගතය පමනක් නොව සමස්ත රටවැසියාගේම ජීවිත අවධනමේ හෙලීමක් බඳුය.
දේශපාලන බල සිහිනයකට ඕනෑම අලුගුත්තේරු ප්‍රකාශයක් කිරීම වගකිවයුතු දේශපාලකයෙකුගේ කාර්‍යයක් නොවන බව හර්ශ ද සිල්වා ඇතුලු සියලුම දේශ පාලකයින්ට සිහිපත් කරමු.
පවතින ආණ්ඩු පෙරලීම හෝ බලය ලබාගැනීමට කටයුතු කිරීම දේශපාලකයින්ගේ සාමාන්‍ය ක්‍රියා පිලිවෙතයි.
එසේ වුවත් බලය ලබාගැනීමට රටේ ජීවනාලිය මේ මොහොතේ පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායන් සංවිධානාත්මකව ඇද වැට්ටවීම දේශපාලන මන්දබුධික ක්‍රියාවකි.
රාජ්‍ය බැංකු ද්විත්වය කෙතරම් අභියෝග මැද වුවද නිහඬවම තම රාජකාරිය ආරක්ශිතව සහ වගකීමෙන් යුතුව ඉටුකරමින් ඇති බව ප්‍රකාශ කලයුතුය.
රාජ්‍ය බැංකු වෙත මෙවැනි සැක සංකා ජනිත වන ප්‍රකාශ නිකුත් කෙරෙන විට වගකිවයුතු රජයක් ලෙස ඒගැන පැහැදිලි කිරීමක් සිදු නොකිරීමද වගකීම් විරහිත ප්‍රකාශ තරම්ම අමනෝඥ ක්‍රියාවකි.’
ඔහු එන්නේ කොතැනින්ද කියන එක අපට වැටහෙනවා. ඒ අනුව රජයේ බැංකුවල නම් සඳහන් කරලා, ඒවා කඩාවැටුණ බව කියමින් ප්‍රකාශ නිකුත් කිරීම හරිම භයානක වරදක් බව අපිත් කියනවා.
උදාහරණයක් විදියට රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වගේ ප්‍රකට අය පවා ඒ වගේ වගකීම් විරහිත ප්‍රකාශ දාලා තිබුණා.

මේ වගේ ප්‍රකාශ සහ හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අපි හිතන විදියට හර්ෂ කියන්න උත්සාහ කළේ පාර්ලිමේන්තුව තුළ කරුණු කාරණා කතා කරන්න ඉඩ නොදීමේ භයානකකම. පාර්ලිමේන්තුවට රටේ මුදල් පිළිබඳ අසමසම බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම ලෝකය පුරා පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන්. ඒ බලය කිසි කෙනෙක්ට අතර ගන්න බෑ. ඒ නිසයි අර බදු පනවන්න බලය බැසිල් රාජපක්ෂගේ අතට ගන්නට කලින් ගෙනාපු පනතකට ජනමතවිචාරණයකුත් ඕනෑ බව ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ. පනත අකුලගන්න වුණේ. මොකද, පාර්ලිමේන්තුවේ බලය බැසිල්ට තියා කාටවත් ගන්න බෑ.
ඉතින්, බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්රාල් කොහෙන්දෝ පවරගත්ත උද්දච්චකමක් එක්ක පාර්ලිමේන්තුවට එන්නේ නැති එක හරිම දරුණු, භයානක වැඩක්.
අන්න ඒ කතාවෙදී තමයි හර්ෂ පෙන්වුවේ ‘දැන් නොයෙකුත් කට්ටිය නොයෙකුත් කතා කියනවා. ඉතාමත් කණගාටුවෙන් කියන්නේ. අපට ආරංචි වෙලා තියෙනවා රජයේ බැංකුවක් ඩිෆොල්ට් කරලා තියෙනවා කියලා අද උදේ. කරුණාකරලා වහාම මේ ගැන හොයලා බලන්න. මම මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා මීට මාස තුනකට කලින්…’ ආදී වශයෙන් බැංකුව ගැන තමන්ට ලැබුණ ආරංචිය ඔහු කීවා. බැංකුවලට අවදානමක් වෙන්න පුළුවන් විදියට රජය බයි සෙල් ස්වෝප් කරපු හැටි ගැන මතක් කළා. ඩොලරයේ වටිනාකමට කැප් එකක් බලෙන් දාලා, 185ට ඩොලර් ගන්නට ගිවිසුම් ගහපු හැටිත්, දැන් ඩොලරයේ අගය 285ක් වූ හැටිත් ඔහු කීවා.
මතක තියා ගන්න සමාජ මාධ්‍යවල දාපු විදියට බැංකුව ‘කඩා වැටුණා’ කියලා නෙවෙයි. බැංකුවක් ‘ඩිෆොල්ට් කරලා’ තියෙනවා කියලයි ඔහු කීවේ. ඔහු බැංකුවක නමක් කීවේත් නෑ. සමාජ මාධ්‍යවල තමයි ඒක අරන් ‘මහජන බැංකුව කඩාවැටිලා’ කියලා පෝස්ට් දැම්මේ.
‘ඩිෆොල්ට් වෙනවා’ කියලා කියන එකට නිවැරදිම තේරුම ‘බැංකුව කඩා වැටුණා’ කියලා නෙවෙයි. ඒකෙන් කියැවෙන්නේ ණය වාරිකයක් හෝ වෙනත් යම්කිසි වගකීමක් ඉටු කරන්න බැරි වීම. යම්කිසි ඔබ්ලිගේෂන් එකක් සම්පූර්ණ කරන්න අසමත් වීම. බැංකුවක පැත්තෙන් ගත්තොත්, කරන්න තියෙන ගෙවීමක් ගෙවා ගන්න බැරි තැනට පත්වීමනේ. ඒක කඩාවැටීමක ලක්ෂණයක්. ඉතින්, හර්ෂ මතු කරපු කතාව හරි. කියූ විදියටම එල්සී කිහිපයක් ගෙවා ගන්න බැංකුවට සල්ලි නැති වූ බව ප්‍රසිද්ධියේ බැංකුව පිළිඅරගෙනත් තියෙනවා. ඒක සැහැල්ලුවෙන් ගන්න ඕනෑ තත්වයක් නෙවෙයි.
‘ඔවුන් එන්නේ නැති නම් අපට මොනවා කරන්නද කියන්නේ? අපට ජනාධිපති මන්දිරය එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳන්න බෑ. සර්ව පාක්ෂික කමිටුවකට නෛතික වගකීමක් නෑ.’ ආදී වශයෙන් ඔහු කීවා.
ඔහුගේ මූලික අරමුණ මේවා කතා කරන්න පාර්ලිමේන්තුවට ඇවිත් කතා කිරීමේ වැදගත්කම. එතකොට මහ බැංකු අධිපති ආවා නම් බැංකුව එල්සී ගෙවන්න පරක්කු වුණා තමයි, ඒත් එදාම ඒ ඩොලර් ගාණ හොයා දෙන්න පුළුවන් වුණ බව මුදල් කාරක සභාවට කියන්නත් තිබුණා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් පාර්ලිමේන්තුවේ හිටියා නම්, හර්ෂට ඔය කතා කියන්න ඕනෑ නැහැ. විශේෂ තත්වයක් විදියට ‘විවිධ අය විවිධ කතා කියනවා. මෙහෙම ආරංචියක් ආවා. මොකද තත්වය?’ කියා විමසන්න තිබුණා. එතකොට මුදල් ඇමති අවශ්‍ය නං අදාල ආයතනවලට කෝල් එකකුත් දීලා, තොරතුරු දැනගෙන කියන්න තිබුණා ‘නෑ නෑ.. බයවෙන්න එපා. දැන් තත්වය මෙහෙමයි.’ කියලා.
මොකද, රට පාලනය කරන ආයතනය විදියට පාර්ලිමේන්තුව තියෙන්නේ ඔය ප්‍රශ්න අහන්න සහ ඒවාට උත්තර දෙන්න තමා.
ඉතින් අපි හිතන විදියට වැරැද්ද හර්ෂ ඔය ප්‍රශ්නය අහපු එක නෙවෙයි. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කවුරුත් පාර්ලිමේන්තුවේ නොහිටපු එක.
ඊට පස්සේ ආණ්ඩුවේ කට්ටිය හර්ෂට කතා කරද්දී තියෙන්න ඕනෑ ‘වගකීම’ මතක් කරන එකත් විහිළුවක්. මේ ආණ්ඩුව ගෙනාපු අය අම්මලා 4000ක් වඳ කරපු දොස්තරලා ගැන ප්‍රසිද්ධියේ එදා කියලා, රටම ගිනියද්දී වගකීම තිබුණෙ කොහෙද? නාගයන්ගෙ කතා පතුරුවලා බලයට ආපු අය ‘වගකීම’ ගැන කතා කිරීම විහිළුවක්.
හර්ෂගෙ වගකීම තමයි බැංකුවේ නම සඳහන් නොකර, සාමාන්‍ය මිනිස්සුන්ගෙ බියත් ඇවිලෙන්නේ නැති විදියට ටෙක්නිකල් වචන එක්ක, යම් ප්‍රශ්නයක් කතා කරන්නට හදලා තියෙන ආයතනය ඇතුළේ ප්‍රශ්නය කතා කරන එක. හර්ෂ ඒක කළා.
අනෙක් අතට ඔහු ලංකාවේ බැංකු පද්ධතියට එල්ලවෙලා තියෙන ප්‍රෙෂර් එක, සමහර අමනෝඥ තීන්දුවල බලපෑම ආදිය හරියට විස්තර කළා. මිනිස්සු බයවේවි කියලා ඒවා කතා නොකර ඉන්න කියලාද කියන්නේ? ඒක ආණ්ඩුවේ වුවමනාවනේ.
ඒත්ප්‍රශ්නය ඇහුවාම උත්තර දෙන්නට වගකීම් තියෙන පරයන් ඒ ආයතනයෙ හිටියෙ නෑ. ප්‍රශ්නෙකට උත්තර නොදෙන එකයි මෙතැන වැරැද්ද.
ඉතින්, අපි හිතන විදියට හර්ෂ, ඉරාන් කියන සමගි ජන බලවේගයේ ආර්ථික විද්‍යා දැනුමැති මන්ත්‍රීවරුන් දෙන්නා ලංකාවේ ආර්ථික තත්වය ගැන දිගින් දිගටම පාර්ලිමේන්තුවේ සහ එළියේ වැදගත් කරුණු හෙළිදරව් කරමින් ඉන්නවා. ඔහුගේ භූමිකාව හරි වැදගත්. ඒ් භූමිකාව ඒ විදියට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉටු වෙන්නේත් නැති බව අපි පිළිගන්න ඕනෑ.
ඒක ජවිපෙ අඩුවක් නෙවෙයි.