ආර්ථික අර්බුදයට හිතුවක්කාර විසඳුම් සෙවීමේ රජයේ පිළිවෙතේ අලුත්ම එකක් වුණ පහුගිය සතියේ හඳුන්වාදුන්න ආනයන බලපත්‍ර ක්‍රමය නිසා අපේ වෙළඳපොළේ දැන් තියෙන අවුල තවත් වැඩි වෙන බවත්, ඒ ක්‍රමය අහෝසි කරන ලෙසත් ඇඩ්වකාටා ඉන්ස්ටටියුට් එක නිවේදනය කර තිබෙනවා.
ඒ කියන්නේ ‘අත්‍යවශ්‍ය’ නැති විදියට මහබැංකුව, මුදල් අමාත්‍යාංශය ප්‍රමුඛ ආණ්ඩුවේ ලොක්කන් තීන්දු කරපු භාණ්ඩ 367ක් සඳහා සීමා පැනෙව්වා. ඒ 2022 මාර්තු අංක 2270/18 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන්.
ඔය කියන භාණ්ඩ දැන් ආනයනය කරන්න පුළුවන් වෙන්නේ ආනයන අපනයන පාලන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ විතරයි. ලයිසන් තිබුණොත් බඩු ගේන්න පුළුවන්, ලයිසන් නැතිවුණොත් බෑ.
හිතන්නකෝ ඔය ලයිසන් එකකට ලැබෙන බලය කොච්චරද කියලා. අහවල් භාණ්ඩෙ දැන් විකුණන්න පුළුවන් අහවල් ව්‍යාපාරිකයන් කිහිපදෙනාට විතරයි. බඩු ගන්න නං එතැනට යන්න. උංට පුලුවන් ඕනෑ මිලක් නියම කරන්න, ප්‍රමිතිය බාල වුණත් එතැනින් ගන්න වෙනවා, වෙන තරගකාරයොත් නෑ, උපරිම ලාභ හොයන්න පුළුවන්.
මරු! කාට කාට ඔය ලයිසන් දෙයිද?
‘සොෆ්ට්ලොජික් පතිරගේ එන්න සුදූ, මෙන්න ඔයා ගේන බඩුවලට ලයිසන් එක. ධම්මික පෙරේරා, මෙන්න මේවා ගෙන්වන්න ඔයාට ලයිසන්. ජෝන් කීල්ස් යාළුවනේ මෙන්න, මේවා ඔයාලා ගේන්න. ඔයාලා ඉතින් අපට රටේ ආර්ථිකේ හදන්න උපදෙසුත් දෙන යාළුවෝනේ.
..
උඹ මොකෙක්ද යකෝ? පොඩි බඩු ටිකක් ගෙනල්ල විකුණන චුට්ටි කාර් එකක් තියෙන, අපට සම්බන්ධෙකුත් නැති පුංචි/ මධ්‍යම පරිමාණෙ බිස්නස්කාරයා…! තොට කොහෙන්ද ලයිසන් ඉල්ලන්න හයියක්? දුප් නොදකිං…. උඹ ලෝන් අරගෙන ගත්ත ගෙදට්ට වෙලා හිඟා කාපිය…..’
අත්‍යවශ්‍ය නොවන කීවාට මේවා අපි එදිනෙදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් බඩුවල ඉඳන් ඇපල් සහ දොඩම් ආදිය දක්වා විහිදෙනවා. දැනටමත් අපේ වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ පවා හිඟ නිසා, එහෙම වෙළඳපොළක මේ වගේ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් ඇති කරන බව ඇඩ්වකාටා කියනවා.
මෙම පියවර මගින් පෙර පැවති ප්‍රතිපත්තිවලට වඩා හොඳ වෙළඳ හිඟයේ ගැටලුව විසඳනු ඇතැයි යෝජනා කරන්නට කිසිදු සාක්ෂියක් නැති බව ඇඩ්වකාටා කියනවා. සංචාරක ව්‍යාපාරයෙන් ගලා එන ඩොලර්වලින්, ගෙවුම් ශේෂ ගැටලුව ‘ඇරිලා යාවි’ කියා බලධාරීන් තාමත් බලාපොරොත්තු වන බව පේන්න තියෙන නමුත් වත්මන් ප්‍රතිපත්ති අපනයන අංශයේ දිගුකාලීන තිරසාරභාවයට තර්ජනයක් වෙලා තියෙන බවත් ඇඩ්වකාටා කියනවා.
පොදුවේ වත්මන් ආර්ථික තත්වය හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා.
නිදසුනක් වශයෙන්, ආහාර පිසීමේ ගෑස් හිඟය සහ විදුලිය විසන්ධි කළාම සංචාරකයින්ට ආහාර සපයන අවන්හල් සහ හෝටල් ක්‍රියාත්මක වීමට අපහසුයි. කෑම අලෙවි කරන තැන්වලට ගෑස් නැහැ. ජෙනරේටර්වලට කියලා ඉන්ධන වාරිකයක් නම් ගෙවලා තියෙනවා. ඒත්, ඇඩ්වකාටා කියන විදියට ගෑස්, විදුලිය ආදී අර්බුදත් එක්ක සමහර හෝටල්වල බුකිං ගන්න එක පවා දැනටමත් අමාරුයිලු. සමහරුන් තාවකාලිකව වහලා දැමීමත් සලකා බලන බව ඇඩ්වකාටා පෙන්වනවා.
රෙදි අපනයනය කරන අයට විදුලිය විසන්ධි වුණාම ජෙනරේටර්වලට ඉන්ධනත් නැති වුණාම ඕඩර්ස් නැති වෙනවා. සැපයුම් කරගන්න බැරි වෙනවා.
ඒවා වැඩි වෙද්දි ලංකාවට දෙන ඕඩර් එකක් ලැබේවිද කියන සැකය විදේශීය ගැනුම්කරුවන්ට ඇති වෙන බවත්, විශ්වසනීයත්වය ගැන කණස්සල්ල පළ කරද්දී, සමහර ගනුදෙනුකරුවන්ව ස්ථීරවම අහිමි වෙන්න පුළුවන් බව ඇඩ්වකාටා පෙන්වා දෙනවා.
අන්න එහෙම පසුබිමක තමයි ආනයනවලට බලපත්‍ර දෙන්නේ. මේ සියල්ල එක්ක අදාල නිෂ්පාදන ගෙන්වන අයගේ බර සමාජයේ කරපිටින් යනවා. සමස්තයක් විදියට රටේ ව්‍යාපාර කරන්නට යන පිරිවැය වැඩි වෙනවා. ඔය සමහර ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ලංකාවේ විවිධ ව්‍යාපාර කරන මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වෙන ඒවා. ඒවායේ වියදම වැඩිවෙද්දී, ඒ ඒ අයගේ සේවාවන්ගේ වියදමත් වැඩි වෙනවා.
ඇඩ්වකාටා පෙන්වන විදියට ව්‍යාපාර කිරීමේ පිරිවැය නිසා තරඟකාරිත්වය සීමා කරනවා. ඒ නිසා පුළුල් ආර්ථිකයේ ශුද්ධ ආර්ථික පාඩු වැඩි වෙනවාලු. මෙම ආර්ථික අකාර්යක්ෂමතාව ඉහළ මිල ගණන්, අඩු රැකියා සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩුවීම වගේ අලුත් ප්‍රශ්නවලට බලපානවා. පාරිභෝගිකයන් විසින් දැරිය යුතු පිරිවැයක් ලෙස මාරු වෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේක රටේ ආර්ථික අර්බුද වැඩි කරන අතරේම අලුත් කළු වෙලඳපොලවල් ඇති වෙන්නට සහ දූෂණයට ඉඩ ඇරෙනවා.
ඒ වගේම මේ ආනයන බලපත්‍ර කේස් එක අපනයනවලටත් නරක විදියට බලපාන බව ඔවුන් පෙන්වනවා. මොකද, අපනයන කරන මිනිස්සුන්ට අතවශ්‍ය වෙන උපකරණ, අමුද්‍රව්‍ය ආදි ගොඩක් දේවල් ‘අත්‍යවශ්‍ය’ නෑ කියලා සීමා කළාම රටක් අපනයනවලින් ඈත් වෙලා ‘ආනයන ආදේශකවලට’ යොමු වෙනවා.
ආනයන ආදේශක කියන්නේ, රටකට පිටරටින් ගෙන්වන භාණ්ඩ සීමා වෙද්දී, ඒ වෙනුවට රට ඇතුළේ ආදේශක නිෂ්පාදනයට වැඩියෙන් යොමු වෙන එක. උදාහරණයක් විදියට ඉන්දියාවට ජපානයෙන් ගෙන්වන කාර් සීමා කරද්දී, ඉන්දියාවේ ව්‍යාපාරිකයන් රට ඇතුළේ කාර් හදන්න යොමු වෙනවා. ඒ එක්කම ඉන්දියන් කාර් ‘ආනයන ආදේශක’ වෙනවා.
බැලූ බැල්මට තියරිය මරු. ඒත්, ව්‍යාපාර ක්ෂේත්‍රය ඔය හැම පොඩි බඩුවම රට ඇතුළේ හදන්න ගත්තාම, අපේ රටේ අපනයන දුර්වල වෙන්න පුළුවන්.
මේ ගැන ඇඩ්වකාටාහි ආචාර්ය සරත් රාජපතිරණ මෙහෙම කියා තිබුණා “ජග්දීෂ් භගවතී (ඇමෙරිකාවේ ආර්ථික විශේෂඥයෙක්) කරපු පර්යේෂණයකින් පෙන්නුම් කරන්නේ රටක වෙළඳ උපායමාර්ගය අපනයනය ඉලක්ක කරගත් වෙළඳ උපාය මාර්ගයක් විය යුතු බව. අපනයන ප්‍රවර්ධනය සඳහා ආනයන ආදේශනයටත් සමාන දිරිගැන්වීම් යෝජනා කරන්න ඕනෑ.” එතකොට අපනයන ප්‍රවර්ධනය කරන්න තියෙන වුවමනාවයි, ආනයන සීමා කිරීමයි කියන දෙක අතර ප්‍රතිවිරෝධතාවක් හැදෙන බව ඇඩ්වකාටා පෙන්වනවා. ආයෝජනය කරන උදවිය අපනයන කරන එකෙන් ඈත් වෙලා වැඩිපුර ආනයන ආදේශක සහ ‘වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ’ අංශය වෙත ගමන් කරන්න ගනීවි.
ආනයන බලපත්‍ර ලබා ගන්න සමත් වෙන අයට ලොකුවට ලාබ ලබන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ බලපත්‍රය ගන්න හැකි වෙන ආණ්ඩුවේ ගජමිතුරන්ට වාසියි. ඒ මිනිස්සුන්ට හොඳට සල්ලි හොයන්න පුළුවන්. හැබැයි සාධාරණ විදියට ආර්ථිකයට දායකත්වයක් නොවී. ඔය විදියට ලාභ හොයන එක “රෙන්ට් සීකින්” ලෙස හඳුන්වන බව ඇඩ්වකාටා සිහිපත් කරනවා.
ආනයන සීමා කිරීම් නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට අවාසියක් වෙන විදියට උළු, සහල්, බඩඉරිඟු වැනි භාණ්ඩ සපයන බලවතුන් කිහිප දෙනෙකු අතර වෙළඳපල බලය සංකේන්ද්‍රණය වීමට හේතු වේවි.
‘ඩඩ්ලි මල්ලි, සිරිපාල අයියේ…. ඔන්න හාල් බිස්නස් එක ඔයාට ලේසි විදියට. සේනාධිපතිගෙ බඩඉරිඟු මල් පිපිළද? ඔන්න තරගකාරයෝ නැති කළා හොඳේ. ඇති තරමට විකුණගන්න…
දැන් බලන්නකො ටයිල්, ඇලුමිනියම් තීන්දු නිසා ධම්මික ගත්ත ලාබෙ. සිමෙන්තිවලින් අපේ ලොකූ ගන්න යන ලාබෙ. ඒක බලං හැදෙන්න.’
ඒ වගේම බලපත්‍ර තියෙන අයට පමණක් ව්‍යාපාර කරන්නට හැකි වුණාම, ඇතැම් ව්‍යාපාරවලට තවදුරටත් බිස්නස් කරගන්න බැරි වෙනවා. ඇයි, ආණ්ඩුව එක්ක ෂේප් වෙලා බලපත්‍රයක් ගත්තොත් විතරයි බිස්නස් පුළුවන්. එතකොට ඒ ඒ බිස්නස්වල ඉන්න ව්‍යාපාරිකයන්ට වගේම, ඒවායෙ වැඩ කරන මිනිස්සුන්ට රැකියාත් අහිමි වෙනවා.
ඔය කරුණු පෙන්වාදෙමින් තමයි ඇඩ්වකාටා ආයතනය උක්ත තීන්දුව වහා අහෝසි කරන්න කියලා ඉල්ලන්නේ.
මේ සටහන ඇඩ්වකාටා වාර්තාවේ ඇති කරුණුවලින් පමණක් නෙවෙයි, අපේ විග්‍රහයත් ඇතුලත් එකක්. ඇඩ්වකාටා වාර්තාව සෑහෙන ඇකඩමික් එකක්. ඒත් ඉතිං අපි සියල්ල සරල භාෂාවට දැම්මා. ඒ නිසා සටහනේ තැනින් තැන තියෙන අපේ නොසන්ඩාල කතාවලට ඇඩ්වකාටා එක මරං කන්න එපා.